ජලභීතිකාව වැලඳුන නරීන්ගෙන් ගෘහස්ථ සුනඛයන්ට ජලභීතිකා රෝගය පැතිරීමේ අවදානම සලකා මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සිටින සුනඛයන් සදහා එන්නතක් ලබාදීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවත්, මේ වන විට එම ප්‍රදේශයේ සුනඛ ගහනයෙන් 70%ට වැඩි
ප්‍රමාණයකට එම එන්නත ලබාදී අවසන් බවත් කඵතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

මිල්ලනිය කොට්ඨාසයේ සිටින සියලුම ගෘහස්ථ සුනඛයන් සඳහා මෙම එන්නත ලබාදීම ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා මහජන සහාය ලබාදෙන ලෙසද අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියේය. මෙම විශේෂ එන්නත් වැඩසටහන සඳහා කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ජලභීතිකා මර්දන ඒකකයේ එන්නත් කණ්ඩායම්වලට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පශු වෛද්‍ය ඒකකයේ එන්නත් කණ්ඩායමද යොදවා තිබේ. මෙම රෝගය වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත පැතිරයාම වැළැක්වීම සඳහා මදුරාවල, හොරණ හා ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිටින ගෘහස්ථ සුනඛයන් සදහාද එම එන්නත ලබාදීමට කටයුතු කරමින් සිටින බව වෛද්‍ය උදය රත්නායක මහතා සඳහන් කළේය.

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක, කඵතර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ප්‍රසාද් ලියනගේ සහ කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් ගීගනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත ජලභීතිකා මර්දන ඒකකය භාර පරිපාලන මහජන සොඛ්‍ය පරික්ෂක ආර්. එල්. දර්ශනප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

- සුනිල් එස්. තන්ත්‍රීආරච්චි -