'එම්.ටී.නිව් ඩයමන්ඩ්' බොරතෙල් ප්‍රවාහන නෞකාවෙහි ඊයේ (7) පස්වරුවේ නැවතත් ගින්නක් හටගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශයක් කපිතාන් ඉන්දීක ද සිල්වා මහතා පැවසීය. මෙම නෞකාවේ ඉකුත් 3 වැනිදා
හටගත් ගින්න පෙරේදා (6) පස්වරු 3.00 පමණ වන විට සම්පූර්ණයෙන් පාලනය කිරිමට හැකිවුවත් නෞකාවේ ගිනි පුපුරු,, අභ්‍යන්තර උෂ්ණත්වය හා එම ප්‍රදේශයේ පවතින තද සුළග හේතුවෙන් යළිත් ගින්නක් හටගන්නට ඇතැයි සැකකරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙම ගින්න මිට පෙර ගින්න පැවති ස්ථානයෙන් නොව වෙනත් ස්ථානයකින් හටගන්නට ඇතැයි සැකකරන බව ද ඔහු ප්‍රකාශ කළේය.  නැවත ඇතිවූ ගින්න පාලනය සඳහා කඩිනම් පියවර ගනිමින් සිටින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

නැවතත් ගින්න ඇතිවීමේ සම්භාවිතාවක් තිබූ බැවින් ගිත්න සම්පූර්ණයෙන් පාලනය කිරිමෙන් පසුවත් නෞකා සහ යාත්‍රා යොදා ගනිමින් එම නෞකාව සිසිලනය කිරිම අඛණ්ඩව සිදුකරමින් තිබියදීම මෙම ගින්න හටගත් බව කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය. ශ්‍රී ලංකා හා ඉන්දීය නෞකා, ටග් යාත්‍රා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා හා ඉන්දීය වෙරළට  ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ගුවන් යානාවක් මේ වන විටත් එම ආපදා කළමනාකරණ මෙහෙයුමේ නිරතව සිටින බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා ඉදිරියේදී අවශ්‍යතාවය පරිදි තවත් යාත්‍රා මෙම මෙහෙයුමට යොදවන බව ද සඳහන් කළේය.  නෞකාව නැවත ගිනි ගැනීමට ඇති අවදානම සම්පූර්ණයෙන් පහව යන තෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු පාර්ශ්ව මෙම මෙහෙයුම අඛණ්ඩව සිදුකරන බවද ඔහු කීවේය.


-ඩයනා උදයංගනී-