නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයේ අකාර්යක්ෂමව ක්‍රියා කළ නිලධාරීන්ට එරෙහිව මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එහි සභාපති රේණුක පෙරේරා මහතා ඊයේ (24) පැවසීය. ඒ සමගම එම කාර්යාලයේ කළමනාකරු හා දේපළ කළමනාකරු යන දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි මූලස්ථානයට මාරු කළ බව ද ඔහු කීවේය.
ජනාධිපතිවරයා මෙම කාර්යාලයේ පෙරේදා (23) කළ හදිසි නිරීක්ෂණ චාරිකාවක දී හෙළි වූ කරුණු මත මෙම තීරණය ගෙන තිබේ. මෙම කාර්යාලයට ගිය අවස්ථා ගණනාවකදීම සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමට නොහැකි වූ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලක් මත ජනාධිපතිවරයා පෙරේදා (23) මෙම කාර්යාලය සෝදිසි කිරීමට එහි ගියේය.
එහිදී හෙළිවුණු තොරතුරු මත මූලික පරීක්ෂණ වාර්තාවක් කැඳවූ බවත්, ඒ අනුව කාර්ය මණ්ඩල හිඟය සඳහා ප්‍රධාන කාර්යාලයෙන් නිලධාරින් තිදෙනෙකු ඊයේ (24) වහාම අනුයුක්ත කළ බවත් කී සභාපතිවරයා වැඩබලන ගණකාධිකාරීවරයා වෙනුවට ස්ථිර අයකු පත්කළ බව ද සඳහන් කළේය. සේවාලාභීන්ගේ අවශ්‍යතා කාර්යක්ෂමව ඉටුකර දීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගත් බව ද කාර්ය මණ්ඩල අඩුපාඩු නොමැතිව මින් ඉදිරියට ප්‍රමාදයකින් තොරව එහි වැඩකටයුතු සිදුවන බව ද ඔහු පෙන්වා දුන්නේය.
-ජයන්ත සමරකෝන්-