දිවයිනට නැගෙනහිර සංගමන්කන්ද ආසන්න මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.



නෞකාව මෙරට වෙරළ දෙසට ගසාගෙන ඒම වැළැක්වීම සදහා පියවර ගෙන තිබෙනවා. එමෙන්ම නෞකාව ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යමින් සිටින බවයි නාවික හමුදාව සදහන් කරන්නේ. මේ අනුව දිවයිනේ සිට නාවික සැතපුම් 35 ත් 40 අතර දුරකට එය මේ වනවිට ඇදගෙන ගොස් තිබෙනවා.

ගොඩබිමේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවයි නාවික හමුදාව කියාසිටින්නේ.

එමෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කරන්නේ ඊයේ (04) පස්වරු හත පමණ වනවිට නිව් ඩයමන්ඩ් නමැති මෙම නැවේ හටගත් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාව සමත් වූ බවයි.

නෞකාව ගිනි ගැනීමට ලක්වූයේ පෙරේදා දිනයේදීයි. නෞකාවේ බොයිලේරුවක සිදුවූ පිපිරීමකින් ගින්න හටගෙන තිබෙනවා.