නිවිතිගල නගරයේ දිනපතා මැණික් වෙළෙඳපොළේ ව්‍යාපාරික කටයුතු සඳහා පිට පළාත්වලින් පැමිණෙන ව්‍යාපාරිකයන්ගේ පී. සී. ආර්. පරීක්ෂණ පැවැත්වීමට නිවිතිගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් පසුගියදා සංවිධානය කර තිබූ ජංගම සායනයට ඉදිරිපත් වීම මඟහරිමින් මෙම වෙළෙඳුන් තමන් පැමිණි මෝටර් රථ නගරයේ දමා මගී ප්‍රවාහන බස් රථවලින් ආපසු හැරී ගොස් තිබේ.
කොරෝනා අවදානම හේතුවෙන් බේරුවල - කළුතර ඇතුළු පිට පළාත්වලින් ව්‍යාපාර කටයුතු සඳහා නිවිතිගල නගරයට පිවිසෙන පිරිස් අහඹු ලෙස මෙම පරීක්ෂණයට යොමු කිරීමට නිවිතිගල බස් පොළ භූමියේ ස්ථාපිත කරන ලද තාවකාලික මධ්‍යස්ථානයේදී මෙම සායන පැවැත්වීමට සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු සංවිධානය කළේය.
නිවිතිගල පොලිසියේ ද සහයෝගය මත මෙම වෙළෙඳුන් පැමිණි මෝටර් රථ එම පිරිස් සමග එම මධ්‍යස්ථානයට රැුගෙන ගොස් මෙම පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කර තිබියදී එම වෙළෙඳුන් ව්‍යාපාර කටයුතු අවසන් කර මෙකී පරීක්ෂණයට ඉදිරිපත් වන බැවින් ඒ සඳහා අවස්ථාව ලබා දෙන ලෙස කළ ඉල්ලීම පරිදි ඊට අවසර ලබාදී තිබුණ ද ව්‍යාපාර කටයුතු අවසන් කර මෙම පිරිස මගී ප්‍රවාහන බස්රථ මගින් රත්නපුර නගරයට පලාගොස් එහි සිට තම වාහන රියැදුරන්ට දුරකථන ඇමතුම් ලබා ගෙන ආපසු ගම්බිම් බලා පලාගොස් ඇත.
මේ වෙළෙඳුන්ගේ ක්‍රියාව හේතුවෙන් එම සායනයේ ඉලක්කය සපුරා ගැනීමට බලධාරීන්ට නොහැකි විය. ඉදිරියේදී මෙම පරීක්ෂණය ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම් නොසලකා පැමිණි විගස සිදු කිරීමට බලධාරීන් බලාපොරොත්තු වේ.
නිවිතිගල - ධර්මසිරි ජයවර්ධන