පයාගල, දළුවත්ත, ගිස්බන් ප්‍රදේශයේ මුහුදු  වෙරළේ තිබී කොකේන් මත්කුඩු පාර්සලයක් ඊයේ (22) පෙරවරු 8.30 ට පමණ සොයාගත් බව පයාගල පොලිසිය කියයි. මෙම පාර්සලයේ කොකේන් මත්කුඩු කිලෝවක
ප්‍රමාණයක් තිබූ අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටියකට අධික බවද පොලිසිය පවසයි. මෙම වෙරළ තීරයේ සැකකටයුතු පාර්සලයක් ඇති බවට පයාගල පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එහි ගොස් මෙම පාර්සලය සොයා ගත් බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මුහුදු ජලය කාන්දු නොවන අයුරින් කොකෙන් පාර්සලය ඊයම් කොළ ඇතුළු කොළ කිහිපයකින් ඔතා තිබූ බව එම උසස් නිලධාරීයා පැවැසිය.  ජාවාරම්කරුවන් පිරිසක් මුහුදු මගින් හෙරොයින් ප්‍රවාහන කරද්දී මෙම පාර්සලය මුහුදට වැටෙක්නට ඇති බවත් එම පාර්සලය මෙලෙස ගොඩබිමට ගසාගෙන එන්නට ඇති බවට පොලිසිය සැක කරයි. සිද්ධිය සැලවීමත් සමග බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත පොලිස් නිලධාරින් බෝට්ටු උපයෝගී කරගෙන පයාගල අවට මුහුදු ප්‍රදේශයේ සහ වෙරළ ප්‍රදේශයේ දැවැන්ත සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ බවද පොලිස් ආරංචි මාර්ග කියයි.  මුහුදු මගින් හෙරොයින් ප්‍රවාහන කළ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් ගොඩබිම වෙත මෙම හෙරොයින් ප්‍රමාණය රැගෙන විත් ඇතිද යන්න හෙළි කරගැනීම සඳහා මෙම මෙහෙයුම් ආරම්භ කර ඇත.

-ඉන්දිකා රාමනායක-