එක්දිනකට පී.සී.ආර්. පරික්ෂණ 1000ක් කළ හැකි අංගසම්පූර්ණ රසායනාගාරයක් ඉදිරි දින කිහිපයේදී කටුනායක ගුවන් තොටුපොළට ලබාදීමට ජාත්‍යන්තර ප්‍රමිකයන්ගේ සංගමය පියවර ගෙන ඇත. කොරෝනා රෝගය නිශ්චය සඳහා රුපියල් කෝටි හතර හමාරක් පමණ වටිනා යන්ත්‍ර හා උපකරණ කටුනායක
ගුවන්තොටුපොළට ලබාදී ඇති බවත්, මෙම පී.සී.ආර්. පරික්ෂණ යන්ත්‍රය ලබාදෙන්නේ ඊට අමතරව බවත් එම සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී සරට ධාෂ් මහතා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවේ පවසා තිබේ. කම්කරු අමාත්‍යාංශයේ දී මෙම හමුව සිදුවී ඇත.

විදේශගත ශ්‍රී ලාංකිකයන් හතළිස් පන්දහසකට අධික පිරිසක් මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්, ඔවුන් නිරෝධායනය සඳහා යොමු කරවීමට ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් මෙරටට ගෙන්වා ගැනීමට සෑහෙන කාලයක් ගතවිය හැකි බවත් සරට් ධාෂ් මහතා හමු  වූ අවස්ථාවේ කම්කරු අමාත්‍යවරයා පෙන්වා දී තිබේ. මෙම ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් බහුලව සිටින රටවලින් පැමිණීමට බලාපොරොත්තු වන අය ගෙන්වා ගැනීම සඳහා ඒ ඒ රටවල තානාපති කාර්යාල සමග සහ ශ්‍රමිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ නියෝජිතයන් සමග සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා එහිදී පවසා ඇත.
-විනීතා එම්.ගමගේ-