ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කරන ලදැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස පොඩි ලැසී නමැත්තා නම් කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්
හර්ෂණ කැකුණවෙල මහතා ඔහු ලබන 25 වැනිදා තෙක් රිමන්ඩ් බාරයේ රැඳවීමට ඊයේ (17) නියම කළේය. අපරාධ පරීක්‍ෂණ  ප්‍රබල අය දෙපාර්තමේන්තුවේ  අධිකරණ නිලධාරින් මෝෂමක් මගින් කළ ඉල්ලීමක් පිළිගනිමින් අරුමුහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නමැත්තා මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වශයෙන් නම් කිරිමට මහෙස්ත්‍රාත්වරයා පියවර ගත්තේය. මෙම සිද්ධියේ පළමුවැනි සැකකරු වශයෙන් නම් කොට ඇත්තේ ධර්මකීර්තිගේ තාරක පෙරේරා විජේසේකර  හෙවත් කොස්ගොඩ තාරක නමැත්තාය.  දරුණු ගණයේ අපරාධකරුවන් වන  මෙම සැකකරුවන් බූස්ස බන්ධනාගාරයේදී ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර  දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට මරණ තර්ජන එල්ල  කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූව විමර්ශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව එම විමර්ශන කටයුතු පිළිබඳව අධිකරණයට කරුණු දැනුම් දුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොස්ගොඩ තාරක නමැත්තා මෙම සිද්ධියේ සැකකරු වශයෙන් නම් කළ අතර පොඩි ලැසී නමැත්තාගෙන් අධිකරණයේ අවසරය මත ප්‍රකාශ  ලබාගත්තේය. ඒ අනුව කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී නමැත්තෙන් ජනාධිපතිවරයාටත්, ආරක්ෂක ලේකම්වරයාටත්, බන්ධනාගාරයේ උසස් නිලධාරින්ටත් ප්‍රසිද්ධියේ මරණ තර්ජන කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බව දැනුම් දුන් නිලධාරිහු ඔහු අධිකරණයට ඉදිරිපත්  කරන ලෙස බන්ධනාගාර නිලධාරින්ට  නියම කරන්නැයි මීට පෙර අවස්ථාවකදී ඉල්ලා සිටියහ. ඊට අවසර දීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරින් විසින් පොඩි ලැසී නමැත්තා අධිකරණයට ඉදිරිපත් කළ අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා සැකකරු මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කරන ලෙසත්, ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවසර දෙන ලෙසත් ඔහු රිමාන්ඩ් බාරයට  පමුණුවන ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම්වලට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා ලබන 25 වැනිදා බන්ධනාගාරයට ගොස් සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට විමර්ශන නිලධාරින්ට අවසර දුන්නේය. පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ  පොලිසියේ නිලධාරින් යොදවා ඊයේ උදෑසන සිටම ගාල්ල අධිකරණ සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාව සලසා තිබූ අතර දැඩි රැකවල් මැද පොඩි ලැසී නමැත්තා අධිකරණයට රැගෙන එන ලද අතර නඩු විමසීමෙන් අනතුරුව බලපිටිය අධිකරණයේ විභාග වන නඩුවකට ඉදිරිපත් කිරිම සඳහා පොඩි ලැසි නමැත්තා ගෙන යන ලදී.

-ඩී.ජී.සුගතපාල-