කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වන සංවත්සරය යෙදෙන අද 2020.09.17 දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා එහි ස්ථාපනය වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත විය. අනතුරුව වරාය නගර උද්‍යානයේ අග්‍රාමාත්‍යවරයා විසින් මැයි මාර ගසක් රෝපණය කරන ලදී.

මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීය,

"චීන ජනාධිපතිතුමයි මමයි ආරම්භ කරපු මෙම ව්‍යාපෘතියට අදට වසර 6ක් ගත වෙනවා. පසුගිය කාලයේ සිදු වූ යම් යම් දේ නිසා වසර 2 පමණ එම ව්‍යාපෘතියේ වැඩ ප්‍රමාද වුණා. දැන් නැවත  වරාය නගර ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වී තියෙනවා. අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පත් වෙනවා. එමන් රැකියා 83000 පමණ බිහි වෙනවා.  මෙම ව්‍යාපෘතිය සඳහා සමස්ත ආයෝජනය ඩොලර් බිලියන 15ක්. අපි කුඩා අවධියේ අසා තිබුණේ මුහුදට මේ රට ඛාදනය වෙනවා කියලා. පළමුවතාවට අපි මුහුද අපේ රටට එකතු කර ගත්තා.  කොළඹ වරාය නගරය ඉදි කරන්න සහය වන චීන රජයට අපි ස්තූති වන්ත වෙනවා. මහ ජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ ජාතික දින සංවත්සරය එළඹෙන ඔක්තෝබර් පළමු වෙනිදට  යෙදෙනවා. ලබන වසරට චීන කොමියුනිට්ස් පක්ෂය හදලා වසර 100 ගත වෙනවා. ඒ වෙනුවෙන් අපි ශ්‍රී ලාංකිකයින් හැටියට චීන ජනාධිපතිතුමා ඇතුලු සමස්ත චීන ජනතාවට අපේ සුබ පැතුම්  එක් කරනවා."

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ වූයේ, 2014 සැප්තැම්බර් 17 වන දාය. වරාය නගරය වෙනුවෙන් හෙක්ටයාර 269 මුහුද ගොඩකර භූමිය සකසා ඇති අතර කිලෝමීටර 3.2 ක් දිගු වන දිය කඩනයේ ඉදිකිරීම් මේ වන විට අවසන් කර තිබේ.

කුමුදු ජයවර්ධන