පදිංචී නිවසේ අයිතිය ඉල්ලා එකම පවුලේ අයියයි, මල්ලියි අතර පෙරේදා (5) ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව අයියා මල්ලිට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව වැලිකඩ පොලිසිය
පරික්ෂණ පවත්වයි. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වැලිකඩ රාජගිරිය බණ්ඩාරනායකපුර වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පී.ඒ.සී. ජනක ලාල් (48) නමැති දෙදරු පියෙකි. සිද්ධියෙන් අනතුරුව සැකකාර අයියා ප්‍රදේශය හැර පලාගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය පියාට අයත් පර්චස් එකහමාරකින් පමණ යුත් ඉඩමේ පිහිටි නිවසේ මෙම සහෝදරයන් දෙදෙනා මව සමඟ පදිංචිව සිටින අතර සිද්ධිය වන අවස්ථාවේ දී මොවුන් දෙදෙනා පමණක් නිසේ සිට ඇති බව පොලීසිය කියයි.
පියාට අයත් ඉඩම තමන් වෙත ලියා දෙන ලෙස සොයුරන් දෙදෙනාම මවට පෙරේදා (5) ඇවිටිලි කර අනතුරුව සැකකාර සොයුරා මව සමග රණ්ඩු වීම හේතුවෙන් ඇය නිවසින් පිටවී සිය දියණියගේ නිවසකට ගොස් රැඳී සිට ඇති බව පොලිස් නිලධාරීයෙක් පැවැසීය. මව නිවසින් පිට වී යාමෙන් අනතුරුව සහෝදරයින් දෙදෙනා අතර බහින් බස්වීම ගුටි බැට හුවමාරුවක් කරා ගොස් අනතුරුව මෙම පිහි ඇනුම සිදුවී ඇතැයි පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගිය පුද්ගලයා මීට වසර කිහිපයකට ඉහත දී විදේශගත සිට පැමිණි අයෙකු බවත් සැකකරු කුලී වැඩවල නිරත වෙන්නකු බවත් පොලීසිය කියයි. 49 හැවිරිදි සැකකාර අයියා සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. වැලිකඩ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මුණසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක පියල් ගුණතිලක මහතා පරීක්ෂණ පවත්වයි.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-