ලොව වමත් පන්දු යවන්නන් අතුරින් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන රංගන හේරත් ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු උපදේශකයෙකු ලෙස එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු පැවසීය.



ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විට අවසන්ව ඇති බවත්, බොහෝ දුරට බංග්ලාදේශ තරඟ සංචාරයෙන් පසුව රංගන හේරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු උපදේශක ලෙස කටයුතු කරනු ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මිට පෙරද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රංගන හේරත්ට දඟපන්දු උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන ලෙස ඉල්ලීමක් කර ඇති අතර, රංගන එය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ විදෙස් කණ්ඩායමක් සමඟින් එක්ව පුහුණුකරණය සඳහා අත්දැකීම් ලබාගැනීමට රංගනට අවශ්‍ය වූ බැවිනි.

කෙසේ වෙතත් රංගන මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු උපදේශක ලෙස කටයුතු කිරීමට සිය කැමැත්ත ලබාදී ඇති බව දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රංගන ටෙස්ට් ක්‍රිකට් තරඟ 93දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 433කි. එයට සමස්ත තරඟයේ කඩුලු 10ක් බැගින් දවාගත් අවස්ථා 09ක් අන්තර්ගතය. එමෙන්ම ඉනිමකදී කඩුලු 05 බැගින් දවාගත් අවස්ථා 34ක්ද රංගනගේ ටෙස්ට් ක්‍රිකට් වාර්තා අතරට ඇතුළත්ය.

- දිනේෂ් මන්ත්‍රීවිතාන -