රත්මලාන බෙලෙක්කඩේ හන්දියේ පිහිටි පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක් ඉකුත් 25 වැනිදා රාත්‍රියේ බිඳ සොරාගත් රන්භාණ්ඩ දේපළවලින් රුපියල් ලක්ෂ හැත්තෑවකට අධික වටිනා
රන්භාණ්ඩ හා මුදල් රුපියල් දස ලක්ෂ පනහතරදහස් හැටක්, ජංගම දුරකතන හයක් සමඟ එක් පුද්ගලයකු 30 වැනිදා පිලියන්දල, මාම්පේ, ගෙනේවත්ත පාර නිවෙසකදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

සැකකරු, පිලියන්දල, මාම්පේ , ගනේවත්ත පාර පදිංචිව සිටින වයස 21 ක් වන පරිගණක මෘදුකාංග පිළිබඳ ඉංජිනේරුවකුද විධායක නිලධාරියකුද වන බවත් සැකකරුගේ අධික ණය බරක් ගෙවාගත නොහැකිව ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙම කොල්ලය සැලසුම් සහගතව සිදුකර ඇති බවත් හෙළිවී ඇතැයිද පොලීසිය කියයි.

සැකකරු ඉකුත් 25 වැනිදා රාත්‍රි ඒ අසල ගොඩනැඟිලිවලින් පැනවිත් තෙවන මහලේ අඟල් 6 ක් උස අඟල් 17 ක් පළල කවුලුවකින් සූක්ෂම අයුරින් ඇතුළට රිංගා දොරවල් කඩා දෙවන මහලේ ආරක්ෂා සහිතව කබඩ්වල දමා තිබූ රන්භාණ්ඩ ඇතුළු මුදල් සොරා ගෙන ගොස් තිබිණැයි පොලිසිය කියයි.

මේ පිළිබඳව ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක දිලීප සී. පෙරේරා මහතා වෙත ලද තොරතුරකට අනුව ගල්කිස්ස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක නීල් ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් දිවා රෑ නිවෙස අසල රැක සිටිමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. සිදුකළ විමර්ශනයේදී සොරාගත් මුදල් රුපියල් 1,054,060/= ක්ද, රිදී භාණ්ඩ ග්‍රෑම් 1876 ක්ද, රන්මුදු  46, බෙස්ලට් 11, රත්තරන් චේන් 27 ක්, පෙන්ඩන් 30 ක්, කරාබු 60 ක්, වලලු 1, ජංගම දුරකතන 6 ක් හා අලෙවිසලේ සවිකර තිබූ සී.සී.ටී.වී. පද්ධතියේ කොටස්ද පොලිස් බාරයට ගෙන ඇති අතර සැකකරු විසින් තවදුරටත් මහරගම හා තදාසන්න ප්‍රදේශවල උකස් මධ්‍යස්ථානවලට රන් භාණ්ඩ ග්‍රෑම් 35 කට අධික ප්‍රමාණයක් උකස්කර ඇති බැවින් ඒවාද සොයා ගැනීම සඳහා සැකකරු 31 වැනිදා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමටද නියමිතව තිබූ බවත්, ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරගෙන යන බවත් පොලීසිය කියයි.

ගල්කිස්ස මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් පරිදි  ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නාලක අලහකෝන් මහතාගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක නීල් ප්‍රියන්ත, පොලිස් සැරයන් 33704 ගුරුසිංහ, පොලිස් කොස්තාපල්වරුවන 87654 ලක්මාල්, 93744 සිල්වා, 93748 ජයවර්ධන, 78800 ශිවත්ත, 86614 තරින්ද, පොලිස් කොස්තාපල් රියැදුරු 94733 රුද්‍රිගු, 87319 ශාන්ත යන නිලධාරිහු සිදුකරති.