වියළි මිරිස් කුඩු, සම්බා සහල්, පොල්, පොල් තෙල්, තුනපහ කුඩු මිල දිනෙන් දිනම ඉහළ යාම හේතුවෙන් ආපනශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව සමස්ත ලංකා ආපන ශාලා
හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මීට අමතරව සීනි, තේ කොළ මිල ඉහළ යාම හේතුවෙන් රුපියල් විස්සකට තේ එකක් ලබාදීමට නොහැකි තත්ත්වයක්ද උදා වී තිබෙන බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේය.

සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් අනූඅටක් බව රජය ප්‍රකාශ කළ ද, සම්බා සහල් කිලෝවක මිල රුපියල් එකසිය දහය ඉක්මවා ගොස් තිබෙන බවත්, කීරි සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල එකසිය විස්සක් වුවත් එම සහල් කිලෝවක මිල රුපියල් එකසිය හතළිහ ආසන්න වී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. මීට මාස තුනකට පමණ පෙර රුපියල් හාරසිය පනහත්, පන්සීයත්, අතර තොග මිලට අලෙවි වූ තුනපහ කුඩු කිලෝවක තොග මිල රුපියල් අටසීය දක්වාත්, රුපියල් පන්සීය තොග මිලකට අලෙවි වූ කෑලි මිරිස්, කිලෝව රුපියල් හත්සීය දක්වාත් ඉහළ ගොස් තිබෙන බව ඒ මහතා පවසා සිටියේය.

මීට අමතරව පොල් ගෙඩියක මිල රුපියල් සියය ඉක්මවා යමින් තිබෙන බවත්, පොල් තෙල් බෝතලයක මිල රුපියල් තුන්සිය පනහ ඉක්මවා යමින් තිබෙන බවත් අසේල සම්පත් මහතා සඳහන් කළේය. එබැවින් ආහාර මිල ඉහළ දැමිය යුතුව තිබුණද, ආහාර මිල පාරිභෝගිකයන්ට දරාගත නොහැකි තත්ත්වයක තිබෙන නිසා තවදුරටත් ආහාර මිල ඉහළ දැමිය නොහැකි බවත්, තේ එකක මිලත්, උපරිම මට්ටමක තිබෙන බැවින් තේ එකක මිල ඉහළ දැමීමට නොහැකි බවත් ඒ මහතා පවසා සිටියේය. මේ නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කිරීමට කටයුතු කරන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත්, වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණීම අවසන් අදියරට පැමිණෙමින් තිබියදී සම්බා සහල් මිල මේ ආකාරයට ඉහළ ගොස් තිබෙන බැවින් ඉදිරි කාලයේදී තවදුරටත් සම්බා සහල් වර්ගවල මිල තව තවත් ඉහළ යා හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.

- ඉන්දික හේවාවිතාරණ -