දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළෙඳසල්වලට ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කර රුපියල් කෝටියකට ආසන්න භාණ්ඩ ලබාගෙන අගරු චෙක්පත් දී සැඟවී සිටි මනෝවිද්‍යාව සම්බන්ධයෙන් ඉන්දියාවේ දී උපාධිය ලැබූ පුද්ගලයකු පෙරේදා (19) මාලබේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
එම සැකකරු මීට වසරකට පමණ ඉහතදී මාලිගාකන්ද අධිකරණයේ දී බන්ධනාගාර නිලධාරින්ගේ අත්අඩංගුවෙන් පලාගිය සැකකරුවකු මෙන්ම, මෙවැනිම වංචා කීපයක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් නොවී වරෙන්තු ලැබූවකු බවද පොලිසිය කියයි. ඔහුගෙන් භාණ්ඩ මිලදී ගත් මාවනැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සහ එම භාණ්ඩ ප්‍රවාහනය කළ බව කියන කුලී රථ රියැදුරකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වතුර මෝටර් 32ක්, මහන මැෂින් 41ක්, වතුර ෆිල්ටර් 12ක්, ලැප්ටොප් පරිගණක, ව්‍යාජ ජාතික හැඳුනුම්පතක්, එම හැඳුනුම්පත යොදාගෙන ලබාගෙන තිබූ චෙක් පොතක්, වංචාවන් සඳහා භාවිත කරන ජංගම දුරකතනයක් පොලිසිය බාරයට ගෙන ඇත.

අතුරුගිරිය ප්‍රදේශයේ ප්‍රදර්ශනාගාරයකින් වතුර මෝටර් 35ක් මිලදීගත් පුද්ගලයකු ලබා දුන් ලක්ෂ හැත්තෑවකට ආසන්න චෙක්පත අගරු වී ඇති බවත් එම භාණ්ඩ ලබාගත් පුද්ගලයා සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් නැතැයි අතුරුගිරිය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මාස හයකට පමණ පසු සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී මේ අයුරින් මහන මැෂින් 41ක් ලබාගෙන රුපියල් විසිහත් ලක්ෂයක අගරු චෙක්පත් ලබා දී වංචා කිරීම, රුපියල් ලක්ෂ 53ක් වටිනා ජෙනරේටර් ලබාගෙන අගරු චෙක්පත් ලබා දී වංචා කිරීම, වතුර ෆිල්ටර් 15ක් ලබාගෙන රුපියල් 270,000ක අගරු චෙක්පත් ලබා දී වංචා කිරීම ආදී වංචා කිරීම්වලට අමතරව ඔහු එවැනිම වංචා කිරීම් කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යන නඩුවක සැකකරුවකු හා කොළඹ මහාධිකරණයේ පවත්වාගෙන යන නඩුවක වරෙන්තුකරුවකු බව වැඩිදුරටත් හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු එලෙස වංචනිකව ලබාගත් සියලුම දේපළ මාවනැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට ලබා දී තිබූ අතර ඔහු විසින් ඒවා විවිධ ප්‍රදේශවල අලෙවි කර තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. මේ ආකාරයෙන්ම වංචාවලට වසර ගණනාවක් සිරගතව සිට තිබූ සැකකරු 2016 වසරේ ඇප මත නිදහස්ව පැමිණ සිටි අයකු බව පොලිසිය කියයි. නම් දෙකකින් පෙනී සිටින මෙම ප්‍රධාන සැකකරු මේ ආකාරයෙන් තවත් වෙළෙඳසල්වලට අගරු චෙක්පත් ලබා දී ඇති බවට සැක කරන පොලිසිය ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වී එවැනි පැමිණිලි වෙතොත් අතුරුගිරිය පොලිසියට දන්වන ලෙස ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිලක වීරසිංහ මහතා පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මාවනැල්ලේ සහ පිටකෝට්ටේ පදිංචි වයස අවුරුදු 48, 40 හා 63 පසුවන අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

- බිමල් ශ්‍යාමන් ජයසිංහ -