මහ වැසි සහ තද සුළං ද සමග "සැලී" නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (16) අමරිකාවට කඩා වැදුණා.  ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ, මාස 4 ක් තිස්සේ ලැබෙන වර්ෂව "සැලී" සුළි කුණාටුව සමඟ පැය 4 කින් ලැබුණු බවය. සුළි කුණාටුව ලොරිඩාවට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 169 ක වේගයකිනි.
සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇගවීමත් සමග වෙරළාරක්ෂිත පළාත්වල පදිංචි දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.  සුළි කුණාටුවෙන් දරුණු හානි සිදුවූයේ ලොරීඩා ජනපදයේ පෙන්සකෝල නගරයටය.

සුළි කුණාටුව හේතුවෙන් එක් අයකු මියගිය බවත් 12 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. ජල ගැලීම්වලට හසුවී, කොටුවුණු 100 කට වැඩි පිරිසක්  බේරා ගැනීම සිදුවූයේ හෙලිකොප්ටර් යානා යොදාගනිමිනි.  සුළි කුණාටුව හේතුවෙන් ගස් කඩා වැටීමෙන් විදුලි බල සැපැයුමට බාධා එල්ල විය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ විදුලි බලය අහිමි ඇමෙරිකානුවන් ගණන 5,50,000 ක් බවය. පෙන්සකෝලා හි පළාත් රැසක් අඩි 5 කට වඩා ජලයෙන් යටවී ඇතැයි ද පැවැසෙයි.
-ඒ.එෆ්.පී-