පැනමා රාජ්‍යයට අයත් MT-New Diamond තෙල් නෞකාව කුවේටයේ  මිනා අල් අහමදී වරායේ සිට ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පැරඩිප් වරාය දක්වා යාත‍්‍රා කරමින් තිබියදී, ශ‍්‍රී ලංකාවට නාවුක සැතපුම් 38 ක් දුර සංගමන්කන්ද ආසන්නයේ දී, 2020 සැප්තැම්බර් මස 03 දින පෙරවරුවේ හදිසි ගින්නකට ලක් විය. එම නෞකාවේ බොර තෙල් මෙටොන් 270,000ක් රැගෙන යන බව
සඳහන් වේ.
පැනමා ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාවේ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 70,000 ක් සහ නෞකාවට අවශ්‍ය ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1,700 ක් පමණ ප්‍රවාහනය කළ බව සඳහන් වේ.
MT NEW DIAMOND යාත්‍රාවේ මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් පිපිරීමකින් අනතුරුව ගින්න හටගෙන තිබු අතර ඒ පිළිබඳව මෙරට නාවික හමුදාවට වාර්තා වී තිබුණේ ඊයේ පෙරවරු 8.05 ට පමණය.
නෞකාව ගිනි ගන්නා අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකු යාත්‍රාකර ඇති අතර, ඉන් වැඩි දෙනා පිලිපීන ජාතිකයින් වේ.
නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින් එක් අයෙකු හැර සෙසු සියලු දෙනා බේරා ගැනුණු අතර, අතුරුදන්ව සිටි අයෙකු පිළිබඳව ලද තොරතුරු අනුව ඔහු මිය යන්නට ඇතැයි සැකකරන බව නාවික හමුදාව අද පෙරවරුවේ ප්‍රකාශ කළේය.
ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ජාත්‍යන්තරයේ සහය ද හිමිව තිබේ.
ගිනි ගන්නා MT NEW DIAMOND නෞකාවේ ඉන්ධන කාන්දු වුවහොත් එය ලොව විශාලතම පාරිසරික ව්‍යසනය වීමේ අවධානමක් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එහි සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය මේ බව සඳහන් කළේ, නෞකාවේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට අද පැවති මාධ්‍ය හමුවේදී ය.
අනතුරට පත්වී ඇති MT- New Diamond තෙල් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
පැය 24 පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ මෙහෙයුමක් ඔස්සේ මෙය ක්‍රියාත්මකය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඊට සම්බන්ධවේ.
 සිද්ධි කළමනාකරණ කණ්ඩායම, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා නාවික හමුදාව, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, පරිසර අධිකාරිය, ධීවර දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන 15 ක් ඒකාබද්ධව අනතුරට පත් නෞකාවේ ගින්න නිවා දැමීම සහ සමුද්‍රීය පරිසරයට විය හැකි හානිය අවම කිරීමේ ක්‍රියාමාර්ග හා මෙහෙයුම්වල දැනට නිරතව සිටී.
මේ අතර  ගිනි ගත් නෞකාවේ තෙල්  කාන්දු වීමේ අවදානමක් නැතැයි නාවික හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්  රියද් අද්මිරාල් වයි.එන්. ජයරත්න මහතා සඳහන් කර තිබේ.