"සමගි ජන සන්ධානය" ලෙස නව සන්ධානයක් සකස් කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාරිලිමේත්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසිය.
එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ගැනීම එළඹෙන 04 වැනිදා පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිත වුවත්, එක්සත් ජාතික පක්‍ෂයට හිමි වූ මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයෙකු නම් කිරීම පිළිබඳ තවමත් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

නායකත්ව අර්බුදය විසඳා ගැනීමෙන් පසුද මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයෙකු නම් කරන්නේ දැයි නිශ්චිත තීරණයකට එළඹ නොමැති බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසීය.

 එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය වෙනුවෙන් රුවන් විජයවර්ධන මහතා, අර්ජුන රණතුංග මහතා, වජිර අබේවර්ධන මහතා, කරු ජයසූරිය මහතා, දයා ගමගේ මහතා ඉදිරිපත්ව සිටින අතර, මින් පෙර පැවති කෘතධිකාරී මණ්ඩල රැස්වීමේදී නායකත්වය සඳහා ඉදිරිපත් වූ පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නායකත්ව තරඟයෙන් ඉවත්ව සිටින බවද වාර්තා විය.

ඒ අනුව මේ පිළිබඳ අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පවසා සිටියේ, තම නම කෘතධිකාරී මණ්ඩලයේදී යෝජනා වීම හේතුවෙන් තමන් නායකත්වයට ඉදිරිපත් වුවත්, ඒ පිළිබඳ තමන්ට කිසිඳු අදහසක් නොපැවති බැවින් ඉන් ඉවත් වීමට තීරණය කළ බවයි. මේ අතර එක්සත් ජාතික පක්‍ෂය සමඟ දේශපාලන කටයුතු සිදුකරන පාර්ශව කිහිපයක් නව නායකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බවටද ප්‍රකාශ කරමින් සිටියි.