සුගිය 2019 වසරේදී ලංකාවේදී හසුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය යයි කියමින් කොළඹ කොල්ලුපිටියේ අලුතින් විවෘත කෙරුණ ‘මරීනා මෝල්’ සාප්පු හා නිවාස සංකීර්ණයේ රථගාලක නවතා තිබූ මිනි වෑන් කිහිපයක ඡායාරූපද සහිතව ප්‍රචාරණය වූ වැටලීම් සම්බන්ධ පුවත පාතාලයන්ගේ උවමනාවට නාකොටික් STF නිලධාරීන් සිදු කළ නාටකයක් බවට දැන් කරුනු අනාවරණය වී තිබේ.
මෙවැනි පුවතක් නිර්මාණයවීමට සැලැස්වීමෙන් පසු කුඩු ව්‍යාපාරයේ අතරමැදියා ලෙස ක්‍රියාකළ
වෙලේ සුදාට කුඩු තොගයේ වටිනාකම මුල් අයිතිකරුට නොගෙවා සිටීමට හැකිවීමත් ඒ මගින් විශාල මුදල් සම්භාරයක් ඉතිරි කරගතහැකිවීමත් කළ හැකිව ඇති අතර එම මුදල පාතාලය හා එක්වූ නාකොටික් STF බෙදාගන්නට ඇතැයි දැන් සැක කෙරේ.

මෙම සැකයට තුඩුදුන් වැටළීම සිදුවූයේ ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනුණු විශාලතම මත්ද්‍රව්‍ය තොගය කියමිනි. රුපියල් මිලියන 295ක වටිනාකමින් යුතු මත්කුඩු එහිදී හසුවූ බව කියැවිණි.

2019 වසරේ පෙබරවාරි මස 23 වැනි දින මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගන්නා ලද්දේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගෙන් (එස්.ටී.එෆ්.) සැදුම්ලත් කණ්ඩායමකි. අල්ලාගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය හෙරොයින් කිලෝ 294.490කි.
අදාළ වැටලීම සිදුවූ පසු දන්වා සිටියේ එය කෙරුණේ පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සූදානම් වී සිටින බවට ලැබුණු ඔත්තුවක් අනුව බවය.

කොල්ලුපිටිය මරීනා මෝල් සුපිරි වෙළෙඳ සංකීර්ණයේ රථගාලේ නවතා තිබූ මිනිවෑන් දෙකක් තුළදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගන්නා ලදී.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරියකු වන උප පොලිස් පරීක්ෂක අජිත් ප්‍රේමලාල් ට ලැබුණ ඔත්තුව අනුවඋප පොලිස් පරීක්ෂක උදාර චතුරංග ඇතුළු කණ්ඩායමක් වැටලීම කර තිබුණි.

මරීනා මෝල් රථගාල තුළ මත්ද්‍රව්‍ය හුවමාරුවක් සිදුවන බවට ලැබුණු තොරතුර මත මත්ද්‍රව්‍ය ගැනුම්කරු හා විකුණුම්කරු යන දෙපාර්ශ්වයම කොටුකර ගැනීමට සූදානමින් සිටි වැටලීම් නිලධාරීන්ට එහිදී අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ පුද්ගලයන් දෙදෙනකු පමණි. මෙම දෙදෙනා පැමිණියේ වෑන් රථ දෙකකිනි. අනතුරුව ඔවුන් පැමිණි වෑන් රථ දෙක සෝදිසි කිරීමේදී ගමන් මලුවල අසුරා තිබූ කුඩු කිලෝ 294.490ක් සොයාගැනීමට හැකි වූ බව නිලධාරීන් මාධ්‍ය හමුවක් පවත්වා හෙළි කර තිබිණි.

අල්ලාගත් මත්ද්‍රව්‍ය තොගය පරික්ෂා කිරීම සඳහා එවකට සිටි ජනාධිපතිපතිවරයාත් පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායකවරයා ඇතුළු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීනුත් සහභාගි වූහ.


මෙම සංසිද්ධිය නාටකයක් බවට කරුණු අනාවරණය වන්නේ පසුගියදා මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගැනුණු ටයිල් චමින්ද නමැති ව්‍යාපාරිකයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදීය. ඔහු පවසා ඇත්තේ තමන්ගේ වැඩට උදව් කරන නිලධාරින් ගැනය.
පෙරකී මත්ද්‍රව්‍ය වැටලීමට මූලිකත්වය දුන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක උදාර චතුරංගගේ නමද ඔහු කී අතර උදාර චතුරංගව අත්අඩංගුවට ගැනිණි. ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න
කිරීමේදී තවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 23 දෙනකු අත්අඩංගුවට ගැනිණි.

වැටලීම් මගින් අල්ලාගන්නා ලද මත්ද්‍රව්‍ය එම කාර්යාංශයේ ගබඩාවේ තැන්පත් කර පසුව සොරාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නැවත විකිණීමටත් අල්ලාගන්නා ලද මත්ද්‍රව්‍ය තොගවලින් කොටසක් විකිණීමටත් කොටසක් ඉදිරිපත් කිරීමටත් මොවුන් කටයුතු කර ඇති බවටද  අනාවරණය කරගෙන තිබේ.

 උප පොලිස් පරීක්ෂක උදාර හා විශේෂ කාර්ය බළකා පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් යන දෙදෙනා එක්වී
මරීනා මෝල් රථගාලේදී කරන ලද මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය වැටලීම ඔවුන් නිර්මාණය
කරන ලද්දක් බවට ප්‍රශ්න කිරීමේදී කරුණු අනාවරණය විය.
බෝට්ටුවකින් මෙරට ගෙන්වන ලද මෙම හෙරොයින් තොගය බළපිටිය ‘විලා’ හෝටලයක තැන්පත් කර කොල්ලුපිටියට ගෙනවිත් ඇති අතර ඒවා නාටකය රඟදැක්වූ ස්ථානයට ප්‍රවාහනයටද එකී නිලධාරීන් උදව් කර ඇත.
මරීනා මෝල් සිද්ධියට සැකකාර විශේෂ කාර්ය බළකායේ තවත් නිලධාරීන් 12 දෙනකු පමණ සහාය ලබාදී ඇති බව කරුණු අනාවරණය විය. මරණ දඬුවම නියම වී සිටින ‘වෙලේ සුදා’ මෙම ජාවාරම පසුපසේ සිටි අතර ඔහු හා මෙම නිලධාරියා දුරකථන ඔස්සේ සම්බන්ධවී ඇති බවටද තොරතුරු හෙළිව ඇත. දුරකථන සංවාද 1000ක් පමණ මේ වනවිට පොලිසිය සොයාගෙන ඇත.
අල්ලාගන්නා ලද කුඩු තොගය මෙරටට රැගෙනවිත් තිබුණේත් ඩුබායි රටේ සිටින මෙරට මත්ද්‍රව්‍ය
ජාවාරම මෙහෙයවන්නකු බවත් ඔහු දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවත් පොලිස් මාධ්‍ය
කේන්ද්‍රයද පවසා තිබිණි. ගමන්මලු 10ක පාර්සල් 272ක සකස් කර තිබූ මෙම හෙරොයින් තොගය පිළිබඳ
රටේ සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඉහළම ප්‍රචාරයක් ලබාදී තිබිණි. එසේම මේසා විශාල
වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් වැටලීම ගැන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටත් පොලිස්
විශේෂ කාර්ය බළකායටත් රටේ ජනතාවගේ ඉහළම ප්‍රශංසාව ලැබිණි.
නමුත් මෙම වැටලීම යටින් මුදල් ගසැගැනීමේ නාටකයක් බව රජයේ ප්‍රධානීන් පවා දැන සිටියේ නැත.

අත්අඩංගුවට පත්වූ මෙම උප පොලිස් පරීක්ෂකවරයා මීට ඉහත කාලයක පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කර ඇතත් ඔහුගේ ඇතැම් දූෂිත ක්‍රියා හෙළිවීම නිසා පොලිස්ශේ විශේෂ කාර්ය බළකා ප්‍රධානි සේනා විධායක ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා විසින් සැකකරුෙ මන්නාරම ප්‍රදේශයට මාරුකර යවා තිබිණි. පසුව ඔහු මන්නාරම විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව බුද්ධි අංශ හා මෙහෙයුම් භාර ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත. එහෙත් ලතීෆ් මහතා විශ්‍රාම යෑමෙන් පසු ඔහු මෑතකදී කොළඹ මෙහෙයුම්වලට කැඳවන ලදී. සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වූයේ ඉන් අනතුරුවය. ඒ වනවිට මොහු රාජකාරි කළේ ජයවර්ධනපුර විශේෂ කාර්ය බළකා කඳවුරේ සංවිධානාත්මක අපරාධ මර්දනයට අනුයුක්තවය.
උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මීට කලින්ද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු සිය බුද්ධි ප්‍රධානීන්ට ලබාදී තිබිණි. ඇමෙරිකානු ජාතිකයන් දෙදෙනකු සමඟ කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගන්නා ලද ‘කුඩු’ කිලෝ 100ක්ද, බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ 232ක්ද, පසුගියදා කොට්ටාවේදී අල්ලාගන්නා ලද ගිනි අවි පිළිබඳවද තොරතුරු උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් විසින් බුද්ධි ප්‍රධානීන් වෙත ලබාදී තිබිණි. අදාළ හෙරොයින් තොග වැටලීම සිදු කරන ලද්දේද උප පොලිස් පරීක්ෂක උදාර චතුරංග ඇතුළු කණ්ඩායමකි.
මේ අනුව බලන විට එම වැටළීම් පසුපසද කිසියම් හස්තයක් ඇති බවට සැක පහළවී තිබේ.
රඳවා ගැනීමේ නියෝග මත රහස් පොලිසිය තුළ රඳවාගෙන සිටින උප පොලිස් පරීක්ෂකවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙන අතර ඉදිරියේදී තවත් කරුණු අනාවරණය වනු ඇතැයි විශ්වාස කෙරේ.

තොරතුරු - කීර්ති මෙන්ඩිස්