ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති සටනේ සිය ප්‍රතිවාදියා වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් සෑමවිටම මුඛ ආවරණයක් පැලඳ සිටීම සම්බන්ධව ඔහු සමච්චලයට ලක් කරමින් රීපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ජනපති ට්‍රම්ප් පසුගියදා අදහස් දැක්වීමක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.



පෙන්සිල්වේනියාවේ ලැට්‍රෝබ්හිදී පැවැත්වුණු රීපබ්ලිකන් පක්ෂ ජන රැලියක් අවස්ථාවේදී ඔහු මේ කරුණු දක්වා තිබේ. ඒ අනුව පැමිණ සිටි පිරිස ඇමතූ ජනපතිවරයා "ඔබලා මුඛ ආවරණයට වඩාත් කැමැති පුද්ගලයෙක් ගැන දන්නවාද?" යනුවෙන් පැමිණ සිටි පිරිසගෙන් විමසා ඇත.

"එය ඔහුට වඩා හොඳ ආරක්ෂාවක් ලබාදෙනවා තමයි. හැබැයි මම මානසික වෛද්‍යවරයෙක් වුණා නම්, ඔහුට යම් ගැටලුවක් ඇති බව මට කියන්න පුළුවන්කම තියෙනවා" මෙහිදී පවසා තිබේ.

ට්‍රම්ප්ගේ මෙම රැලියට සහභාගි වූ පිරිස් පවා නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නියම කර ඇති මූලික සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙතක් වන මුඛ ආවරණ හෝ පැලඳ නොසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව දැනට ලොව වැඩිම නව කොරෝනා ආසාදිතයන් පිරිසක් හා මරණ වාර්තා වන රට බවට පත්ව ඇති ඇමෙරිකාවේ ජනපතිවරයා මෙලෙස මුඛ ආවරණ පලඳිනන් අවඥාවට ලක් කිරීම සුදුසු නොවන බවද ඇතැම් මාධ්‍ය සදහන් කරයි.

එසේම ඊයේ දිනය වනවිට නව කොරෝනාව හේතුවෙන් එරට තුළ සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාවද 185,000ක් ඉක්මවා තිබේ. ඒ අනුව එක්සත් ජනපදය තුළ ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමේදී ජනතාව මුඛ ආවරණ පැලඳ සිටීම අවශ්‍ය බවත්, ඒ හරහා වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වෙන බවත් සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස වී ඇත. විශේෂයෙන්ම ලබන නව වසර උදාවෙද්දී හෝ ඇමෙරිකාව තුළ මෙම වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම මැඩපැවැත්වීම සඳහා මුඛ ආවරණය අනිවාර්යෙන්ම උදව්වනු ඇතැයි එක්සත් ජනපදයේ අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුසිද සඳහන් කර තිබේ.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට පිළිතුරු දී ඇති ඩිමොක්‍රටික් පක්ෂ ජනපති අපේක්ෂක ජෝ  බයිඩන්, "ට්‍රම්ප් යනු සැබෑම මෝඩයෙකු" යනුවෙන් සඳහන් කර තිබේ. පසුගියදා සීඑන්එන් පුවත් සේවය සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කර ඇත. "ජනාධිපතිවරුන් ඕනෑම අවස්ථාවකදී මූලිකත්වය ගන්නන් විය යුතුයි. එහෙම නැතිව එක එක මෝඩ අදහස් දරමින් වැරදි දේ ප්‍රචාරය කිරීම ඔවුන්ගේ කටයුත්ත නෙමෙයි.” බයිඩන් සඳහන් කර තිබේ.

ජනපති ට්‍රම්ප්ද දැනට මාස කිහිපයකට පෙරාතුව මෙම මුඛ ආවරණ පැලඳීම සහ නොපැලඳීම සම්බන්ධයෙන් සිය අදහස් දක්වා තිබූ අතර, එක්සත් ජනපදය තුළ මුඛ ආවරණ පලඳින්නා දේශප්‍රේමියෙකු බවටත්, මුඛ ආවරණ නොපලදින්නා දේශද්‍රෝහියෙකු බවටත් පත්ව ඇතැයිද පවසා තිබුණි.

ජනපති ට්‍රම්ප් පවා ප්‍රසිද්ධ ස්ථානවලදී මුඛ ආවරණ පැලඳීමක් සිදුකළේ අවස්ථා කිහිපයකදී පමණකි. එසේම එක් අවස්ථාවකදී ඔහු එරට ඖෂධ කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණය සඳහා මුඛ ආවරණ නොපැලඳ විශාල පිරිසක් සමඟ සහභාගි වීම නිසා එම අවස්ථාවේදී සිදුකරමින් තිබූ ඖෂධ නිෂ්පාදන සියල්ලම ඉවත දැමීමට අදාළ සමාගමට සිදුවිය.