පකාරක පන්ති පවත්වන අතර වාරයේදී වයස අවුරුදු 15ක ළමයකුට ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සහකාර විදුහල්පතිවරයකු පෙරේදා අත්අඩංගුවට ගත් බව
පානදුර දකුණ පොලිසිය කියයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට එම ප්‍රදේශයේ කිසියම් අයකු විසින් කරන ලද පැමිණිල්ලක් පානදුර දකුණු පොලිසියට යොමු කිරිමෙන් අනතුරුව කෙරුන දිර්ඝ විමර්ශනයකින් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත.පානදුර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන මෙම දරුවා සැකකාර සහකාර විදුහල්පතිවරයාගේ නිවස ආසන්නයේම පදිංචිව සිටින අතර දරුවා සිංහල විෂයට මඳක් දුර්වල බැවින් දෙමව්පියන් විසින් එම දරුවා සැකකරු වෙත යොමුකර ඇති බව පොලිසිය කියයි.


මෙම දරුවා සිංහල ඉගෙන ගැනීමට සෙනසුරාදා දිනයේ පමණක් සහකාර විදුහල්පතිගේ නිවසට ගොස් ඇති අතර ඉකුත් ජුලි මාසයේ දී සැකකරු මෙම දරුවා අසලට වරින් වර පැමිණ ඔහු වැළඳගෙන ලිංගික අපයෝජනය කර ඇතැයි විමර්ශනවල දී අනාවරණ වූ බව පොලිසිය පවසයි. පසුව මෙම දරුවාට සෑම දිනකම නිවසට පැමිණෙන ලෙස සැකකරු පවසා ඇති බව ද දරුවාගේ ප්‍රකාශයකින් අනාවරණ වූ බව පොලිසිය කියයි. අගෝස්තු මාසයේ දී මෙම දරුවා සිංහල ඉගෙන ගැනීම සඳහා විදුහල්පතිවරයාගේ නිවසට යෑම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මව්පියන් ඒ පිළිබඳ විමසීමේ දී මෙම ලිංගික අපයෝජනය පිළිබඳ මුලින්ම මවුපියන්ට අනාවරණ වී ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.

පසුව දරුවාගේ මව සහ මවගේ සහෝදරයා සැකකරුගේ නිවෙස ඉදිරිපිටට ගොස් ආවේගශීලීව හැසිරි සැකකරුට කම්මුල් පහරක් ද එල්ල කර ඇති අතර සැකකරුගේ බිරිඳ බැගෑපත්ව ඔවුන් නිවස තුළට කැඳවා රුපියල් ලක්ෂයක මුදලක් ඔවුන්ට දී මෙය රහසක් වශයෙන් තබා ගන්නා ලෙස ආයාචනා කර ඇතැයි දරුවාගේ මවගේ' ප්‍රකාශයකින්  පොලිසියට අනාවරණය වී ඇත.  මුදල් දීම හේතුවෙන් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි  නොකළ බව ද දරුවාගේ මවගේ ප්‍රකාශයකින් වැඩිදුරටත් අනාවරණ වූ බව පොලිස් නිලධාරියා පැවසීය. සැකකරු පනස් හය වන වියේ පසුවන අතර බිරිඳ ද පානදුර ප්‍රදේශයම විදුහලක ගුරුවරියක බවත් ඔවුන්ට පිරිමි දරුවෙකු සිටින බවත් විමර්ශනවල දී අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් කීවේය. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-බිමල් ශ්‍යාමන්-