ගොඩගම, අතුරුගිරිය, ඤාණවිමල මාවත හා පෝරේ යන ප්‍රදේශවල පිහිටි විද්‍යුත් භාණ්ඩ අලුත්වැඩියා කරන ආයතනවලට කාලයක් තිස්සේ හොර රහසේ ඇතුළු වී ඒවායේ තිබූ රුපියල් ලක්ෂ 05 කට අධික වටිනාකමක්
ඇති රූපවාහිනී යන්ත්‍ර ඇතුළු අමතර කොටස් සොරාගෙන ගිය අයෙක් අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

අග්ගොන ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයකින් පැමිණ අතුරුගිරිය පොලිස් වසම තුළ සැරිසරමින් පෝරේ ශ්‍රී මහා විහාරස්ථානය ආසනයේ පිහිටි එවැනි ආයතනයක කම්බි දැලක් කපා රහසිගතව ඇතුළු වී රූපවාහීනී යන්ත්‍ර ඇතුළු විදුලි භාණ්ඩ සොරා ගෙන යාමට සුදානම් වන බවට ලැබුණු තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.

සැකකරු විසින් එවැනි විද්‍යුත් භාණ්ඩ අලුත්වැඩියා කරන ආයතන තුනකින් සොරා ගන්නා ලද රූපවාහිණි යන්ත්‍ර 17 ක්, ශබ්දවාහිනී බෆල් කට්ටලයක්, රූපවාහීනී ස්ටූල් කිහිපයක් හා ඒවා ප්‍රවාහනයට යොදා ගෙන තිබූ ත්‍රිරෝද රථය ද පොලිසිය බාරයට ගෙන ඇත.

අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිලක රූපසිංහ මහතාගේ උපදෙස් ඇතිව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අසංක ප්‍රේමලාල්, පොලිස් පරික්ෂක දිනුක වීරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදුකර සැකකරු මෙසේ අත්අඩංගුවට ගත්හ.

- ගුණවතී ඉලංකෝන් මැණිකේ -