බ්‍රිතාන්‍යය තුළ ඇති චිය හැකි දෙවැනි කොරෝනා රැල්ල පිළිබඳ බියත් සමග මේ වනවිට එරට ජනාව කලබලයෙන් මෙන් බඩු භාන්ඩ මිලදී ගැනීම නිසා යළිත් වාරයකට එරට කඩසාප්පු හිස් වීමේ ප්‍රවණතාවක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මෙහිදී ඇතැම් පාරිභෝගිකයන් සිය නගරවල සාප්පු සංකීර්ණවල ඇති රාක්ක හිස්වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් අත්‍යවශය ආහාර භාණ්ඩවල පවතින හිඟතාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කරමින් සිටියි. බ්‍රිතාන්‍යය තුළ මේ වනවිට දෙනිකව වාර්තා වන නව කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර, ඉදිරියේදී එළැඹෙන ශීත සෘතුවේදී මෙම තත්ත්වය ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවී තිබේ. ඒ අනුව මේ තත්ත්වය පාලනය සඳහා බ්‍රිතාන්‍ය රජය දැනටමත් ලොක්ඩවුන් සීමා නොවන වෙනත් සීමා කිරීම් පැනවීමට පියවර ගෙන ඇත. එහිදී 'හය දෙනාගේ රීතිය' තවදුරටත් ක්‍රියාත්මක වන අතර, එය කඩ කරන්නන්ට එරෙහිව පවුම් දහස් ගණනක දඩයක් පැමිණවීමද සිදුවෙයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර නගරාධිපති සාදික් ඛාන් නගරය තුළ නව කොරෝනා වෛරස සීමා පැනවීමක් සම්බන්ධයෙන් අදහස් කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. රාත්‍රී 10න් පසු මත්පැන්ශාලා වසා දැමීමත් ඊට අයත් වෙයි. එංගලන්තයේ වයඹදිග සහ ඊසානදිග ප්‍රදේශ තුළ මේ වනවිට නව කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඊට හේතුව බව ඔහු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රජය තවමත් නැවත වටයකට රට ලොක්ඩවුන් කිරීමේ තීරණයකට පිවිස නොමැති අතර, එවැනි තීරණයකට පිවිසීම හැකි පමණින් අවම කරගැනීම මුලික වී තිබේ. එහෙත් එවැනි අවස්ථාවකදී වුවද මෙම සුපිරි සාප්පු සංකීර්ණ විවෘත කර තැබීමට කටයුතු යොදන බව බලධාරීන් පවසයි. ඒ අනුව ජනතාව මෙලෙස කලබලයට පත්ව භාණ්ඩ මිලදී ගැනීමට යොමුවීම අනුමත කළ නොහැකි බවත්, ඒ හේතුවෙන් නැති අර්බුදයක් සමාජය තුළ මතුවන බවත් බලධාරීන් සඳහන් කරයි. විශේෂයෙන්ම ප්‍රථම නව කොරෝනා වටයෙන් ලැබුණු පාඩම් අනුව ජනතාව කටයුතු කරාවි යන්න සිය බලාපොරොත්තුව වූ බවත් බලධාරීන් පවසා සිටියි.

මෙලෙස හදිසි කලබලයෙන් සිදුකළ භාණ්ඩ මිලදී ගැනීම නිසා මිල මුදල් හැකියාව නැති බොහෝ දෙනෙකුට සිය අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීමට අවස්ථාවක් නොවුණු බවට චෝදනා එල්ල විය. එහිදී බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් රැසකදීම මෙවැනි අත්දැකීම් දැකගත හැකි විය.