දෙල්දුව, රන්මුතු උයනේ කාන්තාවක හා බෝඩිං නිවැසියෙකු විසින් ඉකුත් 05 දා අලුයම පානදුර මූලික  රෝහලට ඇතුළත් කර ඇති එම කාන්තාවගේ  සැමියාගේ මරණය පිළිබඳ සැකසහිත බවට ලැබුණ ආරංචි අනුව ඒ ගැන ප්‍රශ්න කිරීමේදී සිය ස්වාමි පුරුෂයා පපුවේ සහ කොන්දේ අමාරුවලින් පෙළෙන බවත් එම
වේදනාවන් ඉවසාගත නොහැකිව සිය දෑතින් ගෙල මිරිකාගත් බවට බිරිය සාක්ෂි සපයා ඇත. ඊට පෙර ඇය ලබාදුන් සාක්ෂි ඊට වෙනස්වී තිබුණ අතර මියගොස් ඇති පුද්ගලයාගේ බිරිය ඉකුත් පස්වැනිදා අලුයම දෙකට පමණ  සැමියාව පානදුර  මූලික රෝහලට රැගෙනවිත් පවසා ඇත්තේ හදිසියේ තමාගේ සැමියා මියගිය බව පමණි.
රෝහල්ගත කරන විටත් රෝගියා මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මෙය සැක සහිත මරණයක් බවට තොරතුරු ලැබී ඇති බැවින් පරික්ෂණ  ආරම්භ කළ බව මොරොත්තුඩුව පොලිසිය කියයි. මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට සිද්ධිය අවස්ථාවේ නිවසේ බෝඩිං කාමරයක සිටි තරුණ පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 මෙසේ මියගොස් ඇත්තේ  මොරොන්තුඩුව, දෙල්දුව, රන්මුතු උයනේ පදිංචිව සිටි ගුරුගේ ලලිත් පෙරේරා නමැති 39 හැවිරිදි දෙදරු පියෙකි.
මියගොස් ඇති පුද්ගලයාගේ හිස, ගෙල සහ අත් පා තැලීම් තුවාල තිබෙන බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
මහේස්ත්‍රාත් පරීක්ෂණය පෙරේදා (5) සිදු කළ බවත් පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (6) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ බවත් පොලිසිය කීය.

පෙර වාර්තාව
බෝඩිං මල්ලී හා බිරිය එක්වී රෝහලට භාරදුන් වාද්දුවේ සැමියාගේ මරණය ඝාතනයක්