වාද්දුව, දෙව්දුව, රන්මුතු උයන ප්‍රදේශයේ පදිංචිව සිටි ලලිත් ගුරුගේ නමැති (39) දෙදරු පියෙකු හදිසියේ මියගිය පුවත පසුගිය පස්වනදා වාර්තාවූ අතර මේ වනවිට එම මරණය බිරිය හා නිවසේ බෝඩිමේ නතරවී සිටි මල්ලී එක්වී සිදු කරන ලද ඝාතනයක් බවට කරුණු හෙළිව ඇත. මේ දෙන්නා අතර අනියම් ඇසුරක් පවතින බවටද කරුණු අනාවරණයවී ඇත.
පසුගිය 5 වනදා පාන්දර 2 ට පමණ පානදුර රෝහලට අදාළ මළ සිරුර ඝාතකයින් විසින්ම රැගෙනවිත් තිබීම විශේෂත්වයකි. තම සැමියා හදිසියේ මියගිය බවත්
හේතුවක් දන්නැති බවත් මියගිය අයගේ බිරිය රෝහලට දන්වා තිබූ අතර සැමියාට දියවැඩියාව ඇතුළු රෝග කිහිපයක්ම තිබූ බව පමණක් වෛද්‍යවරුන්ට දන්වා තිබුණි. මෙය සාමාන්‍ය මරණයක් ලෙස සලකා මරණ පරීක්ෂණය සිදු කරන්නට රෝහල කටයුතු කළ මුත් සිරුර පරීක්ෂා කිරීමේදී ඇතිවූ සැකසහිත සීරීම් තුවාල නිසා ඒ ගැන වැඩි අවදානයක් යොමු කරන්නට සිදුව තිබුණි.


මියගිය පුද්ගලයාගේ ගෙලෙහි සීරිම් සලකුණු මෘත ශරිරාගාරයේ සේවකයකුට මුලින්ම දැක ගැනීමට හැකිවීමෙන් අනතුරුව පොලිස් නිලධාරියා සැකකාර කාන්තාවගෙන් එම අවස්ථාවේදී සිදු කළ ප්‍රශ්න කිරීමේදී සිය ස්වාමිපුරුෂයා කාලයක සිට පපුවේ අමාරුවෙන් සහ කොන්දේ වේදනාවෙන් පෙළෙන බවත් එම වේදනාව ඉවසාගත නොහැකිව ඔහු විසින්ම දෑතින් ගෙල මිරිකා ගන්නා අයුරු දුටු බවත් පොලිස් නිලධාරින් හමුවේ ප්‍රකාශ කර තිබුණි.

වරින්වර පරිස්පර අදහස් ඉදිරිපත් කර තිබූ මෙම කාන්තාව හා ඇය සමග පැමිණි බොඩිං මල්ලී ලෙස හැඳින්වූ තරුණයා ගැන එම අවස්ථාවේදී පොලිසියට සැක මතුවූ අතර රෝහල් පොලිසිය ඒ සැකය වෛද්‍යවරුන් වෙත දන්වා තිබුණි. එකි පුද්ගලයා රෝහලට ඇතුළත් කරන විටත්  මියගොස් තිබී ඇතැයි වෛද්‍යවරු තහවුරු කර තිබු අතර
අධිකරණ වෛද්‍යවරයා මළ සිරුර පරික්ෂා කිරීමේදී ගෙලෙහි සීරීම් ,හිසෙහි හා අත් පා වල සීරීම් තුවාල දක්නට ලැබී ඇති අතර මරණය සම්බන්ධයෙන් කරුණු සඟවා තිබෙන බවක් ඉව වැටී ඇත.

ඒ අනුව මහේස්ත්‍රාත් නියෝගයක් අවශ්‍ය බවට දැනුම් දී ඇත. ඒ අනුව අධිකරණයට කරුණු  වාර්තා කිරීමෙන්  අනතුරුව  වැඩබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා  ප්‍රනාන්දු
මහත්මිය මෘත ශරීරාගාරය වෙතපැමිණ සිරුර පරීක්ෂාකර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට එහි වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.
පශ්චාත් මරණ පරීක්ෂණය අනුව මෙය ඝාතනයක් බවට කරුණු නිගමනය විය. ඝාතකයින් සොයන්නැයි පොලිසියට ඒ අනුව උපදෙස් ලැබිණි.

 මෙම මරණය සම්බන්ධයෙන් මුලින්ම සැකපිට සිද්ධිය අවස්ථාවේ නිවසේ බෝඩිං කාමරයේ සිටි තරුණ පුද්ගලයා පොලිසිය මගින් ප්‍රශ්න කර තිබේ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු හා මියගිය අයගේ බිරිය අතර පවතින අනියම් ඇසුරක් ගැන කරුණු අනාවරණය වූ අතර ඒ අනුව පොලිසිය මියගිය අයගේ බිරියවද සැකපිට ප්‍රශ්න කිරීම අරඹා තිබුණි.

ඇයගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සුළමුල ඇය විසින් පාපොච්චාරණය කරන ලද බව පොලිසිය පවසයි.
ඇඳ ඇතිරිල්ලකින් සැමියාගේ ගෙල තද කර ඝාතනය කළ බවට කාන්තාව පිළිගෙන තිබෙන අතර ඇයත් නිවසේ බෝඩිං කාමරයේ නැවතී සිටින තරුණයාත් අතර පවතින අනියම් ඇසුරට සැමියාගේ බාධාව ඉවත් කිරීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකරන්නට යොමුවූ බව දෙදරු මවක වූ ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත.

ඇය සහ අනියම් ස්වාමිපුරුෂයා බව කියන පුද්ගලයා එක්ව සිද්ධියවූ දින රාත්‍රියෙ මෙම ඝාතනය කළ බවත් රෝහලට සිරුර ගෙනයාමට තීරණය කළේ රෝහලේදී වැඩිදුර සොයා නොබලා මළ සිරුරු බාරගන්නා බවට අසාතිබුණ නිසා බවත් ඇය ප්‍රකාශ කර ඇත.
ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (7) මෙම දෙන්නාවම අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්වූ ලලිත් ගුරුගේ ජල නළ කාර්මිකයකු ලෙස රැකියාව කළ අයෙකු බවද වාර්තා විය.
ඔහු ඉදිකිරීම් පවතින වැඩබිම්වලට ගොස් ජලනල එළීමට යයි කියා සති ගණන් නිවසට නොපැමිණ සිටින බවත් ඒ කාලයේ බෝඩිමේ මල්ලී සහ බිරිය අතර අනියම් ඇසුර වර්ධනයවූ බවත් පාපොච්චාරණයේදී කරුණු හෙළිව තිබුණි.
අත්අඩංගුවට පත් දෙන්නා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.