විදේශයන් ගෙන්වන ලද මත්පැන් වෙනුවට වතුර බෝතල් පුරවා රේගු බදු වංවාකරමින් ප්‍රති අපනයනය කරන මහාපරිමාණ මත්පැන් ජාවාරමක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන රේගු පරික්ෂකවරයකු ඇතුළු රේගු, පරික්ෂකවරුන් තිදෙනකු ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (03) නියෝග කළේය.
මෙම සැකකරුචන් කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇති බවත් ඉන් ශ්‍රී ලංකා රජයට බදු ආදායම විශාල වශයෙන් අහිමි වී ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් පැවසීය.
ලියනගේමුල්ල සීදුවේ පිහිටි ග්ලෝබල් ට්රාන්ස්පෝටේෂන් ඇන්ඩ් ලොජෙස්ටික් පෞද්ගලික සමාගමේ තීරුබදු සහිත ගුදම්වල සිට ප්‍රති අපනයනය කිරීම සඳහා රැගෙන එන ලද මෙම විදේශීය මත්පැන් තොගයෙන් විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා ඇතුළු මත්පැන් බෝතල් 924ක් වෙනුවට ලීටරයේ විනිවිද පෙනෙන වතුර බෝතල් පුරවා මෙම වංචාව සිදුකර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය. විදේශීය මත්පැන් බෝතල් සහිත ලොරි රථය රේගුවේ සිට අදාළ සමාගම පිහිටි අංක 719/17 ලියනගේමුල්ල, සීදුව යන ස්ථානයට පිටත්ව නොගොස් පෑලියගොඩ නුගේ පාරේ පිහිටි රහසිගත ස්ථානයක් වෙත ගොස් මෙලෙස මත්පැන් බෝතල් මාරුකර ඊට වතුර බෝතල් පුරවා ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.
රේගු අංගණයෙන් එම ලොරි රථය පිටත්ව යාමට පෙර ඒවා මුද්‍රා නොතබා අදාළ රහසිගත ස්ථානය වෙත ගොස් පසුව එහි බහාලුම් කඩා ජාවාරම සිදුකර නැවත මුද්‍රා තබා ඇති බවටද කරුණු අනාවරණය වන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෙම විදේශීය මත්පැන් සහිත ලොරි රථ රිංගු අංගණයෙන් පිටත්වන විට රේගු පරීක්ෂකවරයකු වෙතම වාහනයක නැගී ලොරිය පිටුපසින් ගමන් ගත්තා බවත්, පසුව අදාළ රහසිගත ස්ථානය වෙත ගොස් මෙම ජාවාරම සිදුකර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෙම වංචාව සම්බන්ධයෙන් වූ මත්පැන් තොගය මාලදිවයින වෙත ප්‍රතිඅපනයනය කිරීම සදහා සුදානම් කර තිබූ එකක් බව ද අපරාධ පරික්ෂිණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය. ප්‍රතිඅපනයනය කරන භාණ්ඩ ලෙස ශ්‍රී ලංකා රේගුව වෙත ඉදිරිපත් කර තිබූ අදාළ විදේශීය මත්පැන් තොගයට ඇමෙරිකන් වෝටර් නම් වෙළඳ නාමයෙන් අසුරන ලද විනිවිද පෙනෙන ප්ලාස්ටික් බෝතල් 744ක් ද විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 114ක් ද රේගු විමර්ශන අංශය භාරයට ගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
ප්‍රතිඅපනයනයට ඉදිරිපත් කර ඇති රේගු සටහන්වලට අනුව ඊට අදාළ ඉන්වොයිස් භාණ්ඩ විශ්ලේෂණය කිරීමේදී මෙම වංචාව හසුවී ඇති බවත් රේගු ආඥාපනත ප්‍රකාරව අදාළ සමාගමේ ගුදම ඉකුත් 22 වැනිදා මුද්‍රා තබා ඇති අතර මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරික්ෂණයක් සිදුවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා රේගුවේ අධ්යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාට ලිඛිතව කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශයේ සහකාර රේගු අධිකාරි අමරසිංහ මුදුන්කොත්ගේ අරුණ ශාන්ත අමරසිංහ මහතා ඉකුත් අගෝස්තු මස 18 වැනිදා පැමිණිල්ලක් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූවේ විශේෂ විමර්ශන ඒකක 01 අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ආර්.ඒ.පී. රණවක, නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහත්වරුන් ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධතාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.
-නිමන්ති රණසිංහ-