ඇෆ්ගනිස්ථානයේ අන්තවාදී තලේබාන් කල්ලිය විසින් විනාශ කර දමන ලද බාමියන් බුදු පිළිමය වෙනුවට අඩි 1000ක් (මීටර් 342) උස ශෛලමය බුදු රුවක් හිමාචාල් ප්‍රදේශයේ මනාලිලඩාක් උමා පිවිසුම අසල ඉදිකිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා තීරණය කර ඇත.
මේ සඳහා වැය වන මුදල ඉන්දියන් රුපියල් කෝටි තුන්දහස් දෙසීයකි. කාශ්මීර් නිම්නයේ ලඩාක් සිට මනාලි දක්වා ඉදිකොට පසුගිය සෙනසුරාදා විවෘත කරන ලද කිලෝමීටර් 10ක් දිග උමං මාර්ගයේ පිවිසුම් දොරටුව අසල මෙම බුදු රුව ඉදිකිරීම නිසා එම ප්‍රදේශය විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ඉදිකිරීම් සැලැසුම් කිරීම පිණිස ඉන්දියාවේ ප්‍රධාන පෙළේ මූර්ති ශිල්පීන්, ඉංජිනේරුවන් සහ කාර්මික ශිල්පීන්ගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් පත්කොට තිබේ.
ලඩාක් සිට මනාලි දක්වා ඉදිකොට ඇති උමං මාර්ගය නිසා එම ප්‍රදේශ දෙක අතර ගමන් කිරීමට කලින් වැය වන පැය 6ක කාලය පැය භාගය දක්වා අඩු වෙයි. ඉන්දු-පාකිස්තාන් හවුල් පාලනයට යටත් කොට ගිවිසුම්ගතව අර්බුදකාරී තත්වයක් ඇති කොට තිබූ කාශ්මීර් ප්රශ්නය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මිට මාස කිහිපකට පෙර අවලංගු කර ලද අතර, ඒ සමගම ඉන්දියාවේ ප්‍රථම බෞද්ධ ප්‍රාන්ත රාජ්‍යය ලඩාක් හි බිහිවිය. මෙම යෝජිත බුදු රුව ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ මහෝත්සවය ජාත්‍යන්තර මට්ටමින් සිදු කිරීමට නියමිතව ඇති අතර, ඊට ලෝකයේ සියලුම බෞද්ධ රටවල රාජ්‍ය නායකයන්ට ඇරැයුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
-උපාලි රූපසිංහ-