කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් ප්‍රදේශයෙන් කෝවිඩ් 19 ආසාදිත රෝගීන් 198දෙනෙකු ඊයේ (27දා) උදෑසන වනවිට වාර්තා වී ඇතැයි එම කාර්යාලය පවසයි. එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 289දෙනෙකු වාර්තා වී ඇති අතර, ඔවුන් නිරෝධායනයට යොමුකර ඇතැයි එම කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය චන්දිමා වික්‍රමගේ මහත්මිය පැවසුවාය. 

ආසාදිත රෝගීන් රෝහල් කරා යොමුකර ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයටද, සමහර පිරිස් ස්වයං නිරෝධායනයටද යොමුකර ඇතැයිද ඇය පැවසුවාය. 

වාර්තා වී ඇති රෝගීන්ගෙන් 166දෙනෙක් පෑලියගොඩ පොලිස් බලප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර,

ඔවුන්ගේ ආශ්‍රිතයින් 190දෙනෙක්ද, පෑලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. පෑලියගොඩ, ගොඩකදුරුවත්ත, දුටුගැමුණු මාවත ආදී ග්‍රාමසේවා වසම් කිහිපයක විශාල ලෙස රෝගය පැතිර ගොස් ඇති අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ අවටද රෝගීන් බහුල ලෙස වාර්ත වී ඇත. කැලණිය පොලිස් බලප්‍රදේශය තුළ රෝගීන් 17දෙනෙක් සහ කිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශය තුළ රෝගීන් 15දෙනෙකු වාර්තා වී ඇතැයිද ඇය පැවසුවාය.

ඊට අමතරව පෙරේදා (26දා) දින පී.සී.ආර්. පරීක්ෂණ 500ක් පමණ සිදු කර තිබේ. පෑලියගොඩ සහ මාවැල්ල, ප්‍රදේශවල මෙම පරීක්ෂණ සිදු කළ බවත්, එම පරීක්ෂණ වාර්තා ඊයේ (27දා) දහවල් වනතුරු ලැබී නොමැති බවත් ඇය පැවසුවාය. කෙසේ නමුත් එම පරීක්ෂණ වාර්තා අනුව රෝගීන් ගණන මීට වඩා වැඩි විය හැකි බවද ඇය පැවසුවාය.

කැලණිය ප්‍රදේශයේ රෝගය පැතිරීමට හේතු වී ඇත්තේ මත්ස්‍ය වෙළෙඳ සැලේ ආසාදිතයන්ගේ ක්‍රියාකලාපය බැවින්, නිරෝධායන නීතිය කඩ කරන්නන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී ඇතැයිද ඇය වැඩිදුරටත් පැවසුවාය. ඊයේ (27දා) මාධ්‍ය මගින් කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ රෝගීන් 955දෙනෙකු වාර්තා වී ඇති බවට පළවූ නමුත්, පසුගිය දින කිහිපය තුළ පෑලීයගොඩ මත්ස්‍ය වෙළඳ පොළේ ව්‍යාපාරිකයන්, සහායකයන් සහ පාරිභෝගිකයන් ඇතුළු පිරිසගේ පී.සී. ආර්. පරික්ෂණ 2000කට වැඩි සංඛ්‍යාවක් සිදු කළ බවද පැවසුවාය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවන බවත් ඇය පැවසුවාය. එලෙස වාර්තා වූ රෝගීන් කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, මෝදර, මට්ටක්කුලිය, දෙමටගොඩ, වැල්ලම්පිටිය ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බවද ඇය පැවසුවාය.

- ලාල් එස්. කුමාර -