20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයන්ට අනුව එහි අඩංගු වගන්ති හතරක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියට අමතරව ජනමත විචාරණයකින්ද සම්මත කරගත යුතු බවට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ. 

 ඒ අනුව ජනාධිපතිවරයාගේ මුක්තිය නැවත ස්ථාපිත කළ යුත්තේ මූලික අයිතිවාසිකම් නඩුකරවලට යටත්ව වියයුතු බව ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කර ඇතැයි වාර්තා වන අතර ඊට අමතරව ජනාධිපතිවරයාට පූර්ණ මුක්තිය ලබාගත යුතු නම් ඒ සඳහා ජනමත විමසුමකින් අනුමැතිය ලබාගත යුතු බව සඳහන් වන බව දැනගන්නට තිබේ.
19 වැනි සංශෝධනයේ සඳහන් මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද විධානයන් හා උපමාන රජයේ, රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රජය සතු කොටස් තිබෙන ආයතනවල නිලධාරීන් විසින් පිළිනොපැදීම වරදක්ය යන වගන්තිය 20 වැනි සංශෝධනය මඟින් ඉවත් කිරීමට නම් ඒ සඳහා ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකණෙය නිර්දේශ කර ඇතැයිද වාර්තා වේ. 

 මීට අමතරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වසරක කාලයකින් පසුව සිදුකිරීමට නම් ඒ සඳහා ජනමත විමසුමකින් අනුමැතිය ලබාගත යුතු බවට ඉහත නිර්දේශයන්හි සඳහන් වන බවද දැනගන්නට තිබේ. තවද 19 වැනි සංශෝධනයේ සඳහන් නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය වාතාවරණය සහතික කළ යුතුය යන වගන්තිය 20 වැනි සංශෝධනය මඟින් ඉවත් කිරීමට නම් ඒ සඳහාද ජනමත විමසුමකින් අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශයෙහි සඳහන් බවද වාර්තා වේ. මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වසර දෙකහමාරකින් සිදුකිරීම හා නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය වාතාවරණය සහතික කළ යුතුය යන වගන්තීන් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන සංශෝධන සඳහා ඇතුළත් කිරීමට කටයුතු කරන බව ඉහත නඩු විභාගය අතරතුරදී රජය නීතිපතිවරයා මඟින් විශේෂ මෝසමක් ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා තිබිණි.

 20 වැනි සංශෝධනයට අදාළ අනෙකුත් සියලු වගන්තීන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිර්දේශ මඟින් දක්වා ඇතැයිද වාර්තා වේ. 20 වැනි සංශෝධනය පිළිබඳව සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ විනිසුරුවරුන් පස්දෙනාම ඉහත දැක්වූ කරුණු හතරෙන් තුනක් පිළිබඳව ජනමත විමසුමකින් අනුමැතිය ලබාගත යුතු බවට නිර්දේශ කර ඇති අතර එක් විනිසුරුවරයකු ජනපතිවරයාට පූර්ණ මුක්තිය ලබාගැනීම පිණිස ජනමත විමසුමක් අවශ්‍ය නොවන බවට සිය තීන්දුව මඟින් ප්‍රකාශ කර ඇතැයිද දැනගන්නට තිබේ.
ඉහත නඩු විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘෘ, විජිත් කේ. මලල්ගොඩ හා ප්‍රියන්ත ජයවර්ධන යන පංච පුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් පවත්වන ලදී. 

 මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහත්වරුන් වෙත යවා තිබෙන 20 වැනි සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය ඔක්තෝබර් 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතය. ඊට පෙරාතුව කථානායකවරයා විසින් පක්ෂ නායක රැස්වීමක් කැදවා ඔක්තෝබර් 20 වැනිදාම 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.