නිරෝධායනය කිරීමට අවශ්‍ය එහෙත් දැනට ලිපිනයන් වෙනස් කර සැඟවී සිටින බ්‍රැන්ඩික්ස් සේවකයන් වහාම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී නි​රෝධායනයට යොමුවන ලෙස හමුදාපතිවරයා ඉල්ලා සිටියි. 
බස්නාහිර පළාතෙන් පිටතට ගොස් සිටි බ්‍රැන්ඩික්ස් සේවකයන් 495න් අඩක් එනම් 250 කට ආසන්න පිරිසක් ස්ථිර ලිපිනයන්වල නොසිටි බවත්, කොළඹ සෙසු ප්‍රදේශවල ඔවුන් සැඟවී ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. කොවිඩ් පොකුර වාර්තා වූ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවය කළ සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක හෝ රෝහලක මිස මේ මොහොතේ නිවාසවල නොසිටිය යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය.
මෙය ජාතික වගකීමක් සේ සලකා ආරක්ෂක අංශ හෝ සෞඛ්‍ය අංශවලට දන්වා වහාම නිරෝධායනට එක්වන ලෙස දන්වා සිටියේය. 
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග ඔවුන්ව රෝහල් වෙත රැගෙන යාමට නිවෙස් වෙත ගිලන් රථ යොමු කළද ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑමට ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් මතුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද ප්‍රකාශ කර සිටියාය.
ඇය ඒ ගැන මෙසේ කීවාය.

"ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික්කය තුල රෝගීන් හදුනා ගැනීම සදහා PCR පරීක්ෂණ සිදු කරනු ලබයි. එහිදී රෝගීන් බවට තහවුරු වූ පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙනයාම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබාදීමට පියවර ගෙන ඇත. නමුත් සමහර පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වුණා. 
ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සළකා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවෙස් වෙත යොමු කරනු ලබන ගිලන් රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා එන්නැයි මා ඉල්ලනවා.
ප්‍රතිකාර සේවා සදහා යොමු නොවී මඟ හැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් , එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවනවා"