විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 64 දෙනෙකු මේ වනවිට කොරෝනා වෛසරය වැළදී මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර තිබේ.

මෙලෙස මියගිය අය ගණන දැක්වීමට ලෝකයේ විවිධ රටවලින් කාර්යාංශය වෙත තහවුරු කළ දත්ත උපයෝගී කරගෙන ඇත.


මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 2600 කි. මියගොස් ඇත්තේ ඉන් 64 කි.
මෙම සංථ්‍යාවට ලාංකිකයින් ලෙස විදේශවල ශ්‍රමික නොවන වෙනත් රැකියාවල යෙදෙන හෝ පදිංචියට ගිය අය ඇතුළත් නැත.
මෙම පිරිස සම්බන්ධයෙන් එක් එක් තානාපති කාර්යාල දැනුවත් කර ඇති බව කාර්යාංශය සඳහන් කර තිබේ.

ජෝර්දානයේ ඇඟළුම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු පෙරේදා දිනයේද කොරෝනා ආසාදනය වී මියගිය බවත් එම ඇඟළුම් කම්හලේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් 350 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බවත් ඔවුන් මේ වනවිට මළ මුහුද ආශ්‍රිතව මධ්‍යස්ථානයක රඳවා ඇති බවත් කාර්යාංශය සඳහන් කර ඇත .