කෝවිඩ් 19 ආසාධිතයන් 8දෙනෙකු සබරගමු පළාතට අයත් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කපිල කන්නංගර මහතා 10 දා පැවසීය.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කෝවිඩ් 19 ආසාධිතයින් 6 දෙනෙක් (වරකාපොළ 3 ,සහ කෑගල්ල  1, රුවන්වැල්ල 1, යටියන්තොට එකක් වශයෙන් බැගින් තිදෙනෙක් වාර්තා වී ඇත.රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඇහැලියගොඩ ප්‍රදේශයට අයත් එල්ලාවල ප්‍රදේශයෙන් දෙදෙනකුද වාර්තාවී ඇතැයි පළාත් අධ්‍යක්‍ෂවරයා පැවසීය. 

කෑගල්ල දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ සුජිත් බණ්ඩාර මහතා අදහස් දක්වමින්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ කෝවිඩ් 19ආසාදිතයන් 6 දෙනාම බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් බවත් එම රෝගීන් සියළු දෙනා මීට පෙර හඳුනාගත් රෝගීන් සමඟ රඹුක්කන රෝහලේ ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයි පැවසීය. 

රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ ලක්මාල් කෝනාර මහතා

ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයෙන් හමුවී ඇති කෝවිඩ් 19 ආසාදිතයින් දෙදෙනාත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් දෙදෙනෙකු යැයිද මෙම දෙදෙනා හම්බන්තොට සහ කොග්ගල ප්‍රතිකාර ලබමින් සිටින බව කියා සිටියේය. රත්නපුරෙන් හමුවු රෝගීන් දෙදෙනා රෝගීන් බවට හඳුනා ගැනීමට පෙර සිට නිරෝධානයට ලක්කර සිටි අය වෙති.

මේ වන විට කෝවිඩි 19 බවට හඳුනාගෙන ඇති දෙදෙනාගේ ඥාතීන් සහ ඔවුන් ඇසුරු කළ 50දෙදෙනෙකු පමණ නිරෝධායනයට ලක් කර ඇති අතර රත්නපුර ප්‍රදේශයේ සැක සහිත  පුද්ගලයන් 150දෙනෙකු පමණ P.c.R. පරික්‍ෂණයට ලක් කලද කිසිවෙකුට කෝවිඩ් 19 වෛරසය බෝවී ඇති බවට වාර්තා වී නැත.

සබරගමු පළාත තුළ කෝවිඩ් 19 වෛරසය බෝවීම වැළැක්වීම සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ උපදෙස් මත රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පොලිස් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රජයේ ආයතනවල සහභාගීත්වයෙන් පිහිටුවා ඇති කෝවිඩ් 19 මර්දන බළකාය යටතේ විශේෂ වැඩ සටහන් ක්‍රියාත්මක කෙරේ.

 - ආර්. පී. මහේෂිකා -