උපකාරක පන්තියකට සහභාගි වූ දහඅට හැවිරිදි සිසුවෙකු අපයෝජනයට ලක් කළ අසූහතර හැවිදි උපකාරක පන්ති ගුරුවරයෙකු ඊයේ (01දා) අත්අඩංගුවට ගත් බව මත්තෙගොඩ පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගස්ඕවිට කුඩමාදූව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ඩිපෝ කළමනාකරුවෙකි. මෙම පුද්ගලයා වසර හතළිහක පමණ සිට උපකාරක පන්ති හරහා ඉංග්‍රීසි භාෂාව උගන්වා ඇති අතර, කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සිසුවාද මෙම ගුරුවරයාගේ නිවසේ පවත්වාගෙන ගිය උපකාරක පන්තියට සහභාගි වී ඇත.

උපකාරක පන්තියට සහභාගි වූ සිසුවාව අවස්ථා කිහිපයකදී එම ගුරුවරයා විසින් අපයෝජනයට ලක් කිරීමට උත්සාහ දරා ඇති බව පැවසේ. අනතුරුව අදාළ සිසුවා පොලීසියට පැමිණ සිද්ධිය පිළිබද පැමිණිලි කිරිමෙන් පසු මත්තේගොඩ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මත්තෙගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත උපපොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.

- ශාන්ත ප්‍රදීප් කුමාර