කොවිඩ් 19 වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල් ඇඳන් ප්‍රමාණයෙන් සියයට 90 කට වඩා මේ වන විට පිරිගොස් ඇති බැවින් ඉදිරියේදී සංකුලතා සහිත ආසාදිතයන් පමණක් රෝහල තුල තබා රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන් වෛද්‍ය අධික්‍ෂණය යටත්තේ රෝහල් නොවන වෙනත් මධ්‍යස්ථානවල රැඳවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය  රමේෂ් පතිරණ මහතා ඊයේ (27) පැවසිය. දැනට හමුවන ආසාදිතයන්ගෙන් සියයට 75ත් 80ත් අතර පිරිසකට රෝග ලක්‍ෂණ මතු නොවන බැවින් එවැනි අය තෝරාගත් හෝටල් වැනි ස්ථාන හා නිරෝධායනයට වෙන් කළ මධ්‍යාස්ථාන ආදියේ වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අවධානය යටතේ රඳවා තබන්නට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.  


මෙම ක්‍රමවේදය සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ වෛද්‍ය නිලධාරි සංගමය එකග වී ඇති බවත්, මෙම රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය නිවැරැදිව පවත්වාගෙන යාම සඳහා ඔවුන්  මේ වන විටත් නිර්ණායක ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල හමුවේදී පැවසූ බවද රමේෂ් පතිරණ මහතා පැවසිය.අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. මෙම ස්ථානය කුමක් වුවත් කිසිදු ආසාදිතයකු සෞඛ්‍ය අංශවල අධීක්‍ෂණයකින් තොරව තබන්නේ නැතැයි ද රමේෂ් පතිරණ මහතා පැවසීය.

කොවිඩ් තත්වයේ වර්ධනයක් ගැන රජය අවධානයෙන් පසුවන බව කී ඇමතිවරයා මෙවර එම වයිරසය පළමු අවස්ථාවේ ජනතාව අත්දුටු වයිරසයට වඩා ආසාදනයවීමේ හැකියාවෙන් ඉහළ මට්ටමක ඇති බව වෛද්‍ය විද්‍යාඥයින්  පෙන්වා දී ඇතැයි ද කීවේය.රෝගය සමඟ ජන ජීවිතය සහ රට අකර්ණමණ්‍ය නොකර ඉදිරියට ගෙනයාමේ වගකීම රජය භාරගෙන ඇතැයි කී  ඇමතිවරයා නියමිත පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි උපදෙස් පරිදි කටයුතු කරන ලෙස ජනතාවගෙන් ද ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය.

වසංගත රෝග විශේෂඥයන්ට අනුව තවම රෝගය සමාජගත වී නැතැයි කී රමේෂ් පතිරණ මහතා රෝගයේ තත්වය සම්බන්ධ කරුණු ජනතාවගෙන් සෑගවීමේ අවශ්‍යතාවක් රජයට නැතැයි ද කීවේය. පළමු පෙළ ආශ්‍රිතයන් නිවසේ නිරෝධායනයට පියවර ගෙන තිබෙන්නේත් ඉඩකඩ පිළිබඳ ගැටලුවක් නිසා බව ද ඔහු පැවසිය. ඉදිරියේදී මෙම තත්වය වර්ධනය වුෙණාත් ජනතාවට සහන ලබාදීමේ ක්‍රියාවලියකට රජය එළැඹෙන බව කී ඇමතිවරයා රට සම්පුර්ණයෙන් අකර්මණ්‍ය කළ නොහැකි  බැවින් රටටම ඇඳිරි නීතිය නොපනවා මෙම තත්වය පාලනය කළ හැකි බවට  රජය තුළ විශ්වාසයක් ඇතැයි ද කියා සිටියේය.