දුම්වැටි පරිභෝජනය සඳහා දිනකට රුපියල් කෝටි 38ක්ද මත්පැන් සඳහා දිනකට රුපියල් කෝටි 57ක්ද ලෙස දිනකට රුපියල් කෝටි 95ක් පමණ වැය කරන බව ඒ මහතා ප්‍රකාශ කළේ, පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එසේම මෙරට මධ්‍යසාර පිටුපස තිබෙන්නේ දේශපාලනමය අදිසි හස්තයක් බවද සඳහන් කළ සභාපතිවරයා,
"අපේ රටේ දිනකට දුම්වැටි සඳහා කෝටි 38ක් වැය කරනවා. ඒ වගේම දිනකට මත්පැන් සඳහා කෝටි 57ක් වැය කරනවා. ඒ අනුව බැලුවම දුම්වැටි හා මත්පැන්වලට පමණක් දිනකට කෝටි 95ක් පමණ වියදම් කරනවා අපේ රටේ මිනිස්සු. එහෙම තිබියදී අපේ රට දුප්පත් රටක් කියලා අපි කියනවා. අපේ රටේ ගම් 15,000ක් තිබෙනවා. එක ගමක් ගැන බැලුවොත් අවුරුද්දකට කෝටි 03ක් දුම්වැටි හා මත්පැන් වෙනුවෙන් වියදම් කරනවා. මෙයින් 1/3ක් ඉතුරු කර ගත්තොත් එක ගමකට රුපියල් කෝටියක් ඉතුරු කර ගන්න පුළුවන්. මෙය තමයි මූල්‍යමය පැත්ත. අපට ජාතික අධිකාරිය වශයෙන් තනිව ගමනක් යන්න අමාරුයි. දුම්වැටි හා දුම්කොළ පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඒ පිටුපස සිටින්නේ බහුජාතික සමාගමක් බව අපි කවුරුත් දන්නා දෙයක්. දුම්වැටි හා දුම්කොළ සම්බන්ධයෙන් අපි නීති සකස් කරමින් යනවා 2006 අංක 27 යන පනත යටතේ. අපි මධ්‍යසාර ගැන කතා කරද්දී ඒ පිටුපස තිබෙන්නේ දේශපාලනමය අදිසි හස්තයන්ම පමණයි.
පසුගිය පාර්ලිමේන්තු නියෝජිතයන් ගත්තම අපි දැක්කා ඔවුන්ගෙන් අඩක්ම පමණ බාර් ලයිසන් සතු කරගෙන සිටින ආකාරය. මෙවර පාර්ලිමේන්තුවට නව මුහුණු 81ක් පත් වී තිබෙනවා. ඒ අනුව අපි ඉතා උවමනාවෙන් හා අවධානයෙන් මොවුන් දිහා බලාගෙන ඉන්නවා. අපි මහ මැතිවරණයට පෙර ව්‍යාපාරයක් ආරම්භ කළා. යම්කිසි අපේක්ෂකයෙක් දුකොළ හා මධ්‍යසාරවලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වෙනවා නම්, මනාපය ලබා නොදෙන ලෙසට ජනතාව දැනුවත් කරන්නට. මෙය ඇතැම් දිස්ත්‍රික්කවල ඉතා හොඳින් ක්‍රියාත්මක වුණා අපි දැක්කා. නමුත් ඇතැම් දිස්ත්‍රික්කවල අපි පැරදිලා ඔවුන් දිනුවා" යනුවෙන් පවසා සිටියේය.
සුපිරි වෙළෙඳ සැල්වල මෙන්ම සිල්ලර වෙළෙඳ සැල්වලද දුම්වැටි අලෙවියේදී ස්ථානීය ප්‍රචාරණයන් සිදුවන බවත්, එය තහනම් කිරීමට ඉදිරියේදී කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් සභාපතිවරයා පැවසීය. තවද විශේෂයෙන් ළමයින් ප්‍රිය කරන ටොෆී, චොක්ලට් අසුරා තිබෙන රාක්ක ආසන්නයේ ඇස් මට්ටමින් බොහෝ අලෙවි සැල්වල දුම්වැටි නිෂ්පාදනයන්ද අසුරා ඇති රාක්ක පිහිටීම අහම්බයෙන් සිදු නොවන්නක් බවද එය කුඨ ප්‍රචාරණයක් බවද ඒ මහතා සඳහන් කළේය.
"සුපිරි වෙළෙඳ සැල්වල අපි දකිනවා දුම්වැටි අලෙවි කරන්නට තබා තිබෙන්නේ කවුන්ටර ආසන්නයේ බව. ලෝක ප්රඥප්තියක් තිබෙනවා, එෆ්.අයි.සී.ටී. නමින්. එහි පැහැදිලිව තිබෙනවා දුම්වැටි අලෙවි කරන ස්ථානය ප්‍රචාරය කරන බැහැ කියලා. අතීතයේ මාධ්‍යවල දුම්වැටි ප්‍රචාරණය සිදුවුණා. නමුත් පනත් හරහා ප්‍රචාරණය, ප්‍රවර්ධනය ආදිය දුම්වැටි හා මධ්‍යසාර සම්බන්ධයෙන් තහනම් කර තිබෙනවා. නමුත් අපට මේ අලෙවි කරන ස්ථානයේ ප්‍රචාරණය අපට තවම වළක්වා ගන්න නොහැකි වී තිබෙනවා. මේ නිසා තමයි සුපිරි වෙළෙඳ සැලේ මෙන්ම සිල්ලර වෙළෙඳ සැල්වලත් මිල සටහන් දැන්වීම් ප්‍රදර්ශනය වෙන්නේ. මෙය ක්‍රමයෙන් තහනම් කරන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. සුපිරි වෙළෙඳ සැල්වල ටොෆී චොකලට් හා දුම්වැටි කියන දේවල් එක මට්ටමේ අසුරා තිබෙන්නේ ඉතාම කූඨ උපක්‍රමයක් ලෙසටයි. ඔවුන් මේවා වෙළෙඳ සැල්වල අසුරන්නේ ඇස් මට්ටමෙන් වගේම ළමයින් වැඩියෙන්ම කැමැති දේවල් සමගයි. මෙය අහම්බයෙන් සිදුවන දෙයක් නොවෙයි" යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
- නදීශානි පතිරණ -