කෝවිඩ් - 19 වෛරසය ආසාදිත බවට වාර්තා වූ අයෙකුගේ පුත්‍රයකුට අපාස උසස් පෙළ විභාගයට පෙනී සිටින නිසා පැය කීපයක් තුළ ඔහුට විභාගයට පෙනී සිටීමට හැකි වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් කඩිනමින් පියවර ගෙන තිබුණි. 

කහවත්ත මාදම්පේ පනාවල පාරේ පදිංචි මාළු වෙළන්ඳකුට කෝවිඩ්-19 වෛරසය ආසාදිත බවට 27දා රාත්‍රී වෛද්‍ය වාර්තා ලැබීමත් සමඟ ගොඩකවෙල ප්‍රාදේශීය සොඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ට සහ ගොඩකවල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බණ්ඩාර මහතා මැදිහත්ව එම ආසාදිතයාගේ පුත්‍රයාට විභාගයට පෙනී සිටීමට අවශ්‍ය කටයුතු රාත්‍රියේදීම සූදානම් කළේය. 


ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් අධ්‍යාපන බලධාරීන් මෙදින රාත්‍රියේදීම දුරකථනයෙන් සම්බන්ධ කරගෙන සිසුවා වෙනුවෙන් වෙනම හුදෙකලා පන්ති කාමරයක විභාගය ලිවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කළේය.

සිසුවා අධීක්ෂණය කිරීමට ගුරුවරියක්ද යෙදවීමට විභාග මධ්‍යස්ථානයේ බලධාරිහු කටයුතු කළහ. එම සිසුවාගේ පියාට කෝවිඩ්-19 වයිරසය ආසාදිත බව දැනගැනීමට ලැබුණේ  27දා රාත්‍රී 9.00ට පමණය. පසුදින උසස්පෙළට පෙනී සිටින සිසුවා ඇතුළු එම නිවසේ අය නිරෝධායනයට යොමු කළ අතර, සිසුවා විභාග මධ්‍යස්ථානයට රැගෙන යාමේ වගකීමද ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බංඩාර මහතා භාර ගත්හ.

මාදම්පේ - පනාවල පාරේ සිට ගොඩකවල දක්වා කිලෝමීටර හතක් දුර විභාග මධ්‍යස්ථානයට සිසුවා රැගෙන යාමට අවශ්‍යව තිබුණි. එහෙත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ රථයේ රියදුරු රාත්‍රී කාලයේදී දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට නොහැකි වූ නිසා සභාපතිවරයා විසින්ම රිය පදවමින් 28දා උදැසන සිසුවා වාහනයේ පිටුපස අසුනක සෞඛ්‍ය ආරක්ෂිතව තබාගත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමඟ විභාග මධ්‍යස්ථානයට රැගෙන ගියහ.


මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් සිසුවා සෞඛ්‍ය ආරක්ෂිතව විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

ගොඩකවල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන එන්.ආර්. විපුල කුමාර, එල්.එම්. අභය ගුණසේකර යන මහත්වරුන්ද මේ සදහා එක්වූහ.

ගොඩකවල මහජන සෞඛ්‍ය පරික්ෂක (මාදම්පේ) විපුල කුමාර මහතා සදහන් කළේ, මෙම සිසුවාට විභාගය ලිවීම් කටයුතු සූදානම් කිරීම පැය කිහිපයක් තුළදී සිදු කළ බවයි. 

සිසුවා ඔහුගේ නිවසේ සිට විභාග මධ්‍යස්ථානයට රැගෙන ඒමට ප්‍රාදේශීය සභාවේ රියදුරු නොමැති අවස්ථාවේදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා රියදුරු ලෙස කටයුතු කරමින් සිදු කළ ක්‍රියාව නොවන්නට එම සිසුවාට විභාගය ලිවීමට ඉඩ නොලැබෙන බවද ඒ මහතා පෙන්වාදුන්හ. කහවත්ත මාදම්පේ මාළු වෙළද මධ්‍යස්ථානයට සම්බන්ධව මෙම සිසුවාගේ පියා කෝවිඩ්-19 වෛරසය ආසාදිත වීම නිසා පෙරේදා (27දා) රාත්‍රියේදීම හම්බන්තොට රෝහලට රැගෙන යනු ලැබීය. ගොඩකවල පාසලක විභාග මධ්‍යස්ථානයේ බලධාරීන් සහ විභාග පරික්ෂිකාවක්ද ලබාදුන් සහාය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇගැයීමකට ලක් කළහ.


 - ලසන්න නිරෝෂණ පෙරේරා -