නව කොරෝනා වසංගතය හේතුවෙන් ලොව බොහෝ රටවල් ණය අර්බුදයකට පත්ව සිටින බවත්, ඒ හේතුවෙන් ආයෝජකයන් විසින් එම රටවලට අලුතින් සහන ලබාදීමට කටයුතු යෙදිය යුතු බවත්, එහිදී දැනට
ලබාදී ඇති ණය අත්හැර දැමීමක් සිදුකිරීම වැදගත් බවත් ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාස් ඉල්ලා සිටියි.

පසුගියදා පුවත්පතක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ කරුණු සඳහන් කර තිබේ. "මේ කොරෝනා වසංගතය නිසා ඇතැම් රටවල්වලට තමන් ගත්ත ණය ගෙවාදැමීමේ අපහසුතාවක් පවතින බවට අපිට සාක්ෂි සහිතව ඔප්පුවෙලා තිබෙනවා. ඒ නිසා අපි ඔවුන්ගේ ණය මට්ටම පහත හෙළීම වැදගත්. එතැනදී අපිට මෙය ණය සහනය හෝ ණය අතහැර දැමීම විදියටත් හඳුන්වා දෙන්න පුළුවන්." යනුවෙන් ඔහු පවසා ඇත.


ඒ අනුව මෙම ණය යළි සැකසීම හරහා දැනට පවතින ණය ප්‍රමාණය අඩු කිරීම වැදගත් යන්න ඔහුගේ අදහස වී ඇත. එහිදී මීට පෙර 1990 දශකයේදී ලොව ඇතිවූ මූල්‍ය අර්බුද අවස්ථාවන්හිදී අධික ණය බරතාවකින් යුතු රටවල් ඉන් මුදවා ගැනීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔහු මතක් කර දෙයි.

විශේෂයෙන්ම පොහොසත් රටවලට දියුණු වෙමින් පවතින රටවලට මෙම නව කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා උදව් කළ හැකි බවත්, එවැනි අවස්ථාවක් පවතින රාජ්‍යයන් 73ක් අතරින් 43ක් සතුව ඇ.ඩො.බිලියන 5ක පමණ වන එවැනි ණය ගෙවීම් පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

"මේ ආයෝජකයන් තවමත් ප්‍රමාණවත් තරම් දෙයක් මේ සම්බන්ධයෙන් කරන්නේ නෑ. මම ඒ ගැන හරි කනගාටුවෙන් ඉන්නේ. එතැනදී ප්‍රධාන පෙළේ චීන ණය දෙන්නන් මේ සඳහා මැදිහත්වීම ඉතාමත් අඩුයි." ලෝක බැංකු සභාපතිවරයා පවසා ඇත.