කොළඹ කොම්පඤ්ඤවීදියේ යුනියන් පෙදෙසේ පිහිටි 'On 320 Apartments' නමැති සුපිරි මහල් නිවාස සංකීර්ණයේ එක් කුළුණක 27 වන මහල  කොරෝනා ආසාදිතයෙකු නිසා සීල් තබා ඇති බව වාර්තාවේ.

දැනගන්නට ලැබෙන පරිදි මෙම තට්ටුවේ නිවාස ඒකකයේ පදිංචිව සිට ඇත්තේ ඊයේ සපුගස්කන්ද ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් වාර්තාවූ කොරෝනා ආසාදිත ව්‍යාපාර අධ්‍යක්ෂිකාවන් දෙන්නාගෙන් කෙනෙකි.

ඇය මේ වනවිට හෝමාගම රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

අනෙක් අධ්‍යක්ෂිකාව වන මෙම කාන්තාවගේ සහෝදරිය කඩුවෙල ප්‍රදේශයේ වාසය කරන අතර ඇයටද කොරෝනා ධනාත්මකවීමෙන් පසුව

රෝහල් ගත කර ඇත.

මෙම නිවාස දෙකෙහිම පවුලේ අය නිවෙස් තුළ රඳවා ස්වයං නිරෝධයනයට ලක්කර ඇති බව වාර්තාවිය. සුපිරි මහල් නිවාසයේ 27 වන මහලට අයත් අනෙක් ඒකක සීල් තබා ඇත.

 සුපිරි මහල් නිවාසයේ වාසය කරන අධ්‍යක්ෂිකාවගේ සැමියාට අයත් සපුගස්කන්ද  තැඹිලිගස්මුල්ල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවේ ඇය සහ නැගණියට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු එය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබූ අතර එහි සේවකයන් 30 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කරන ලද බව මහජන පරීක්ෂකවරයා දන්වා තිබුණි.

 මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවකයෙකුගේ සහෝදරයෙකු මෙම කර්මාන්ත ශාලාවට පැමිණීමෙන් මෙම ආසාදනය සිදුව ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය විය.

මිනුවන්ගොඩ පොකුර බලාත්මකවීමෙන් පසු මෙම අධ්‍යක්ෂිකාව  කොළඹින් වාර්තාවූ 6 වැනි කොරෝනා රෝගියා බවට සටහන්ගතව ඇත.