යතුරුපැදි දෙකක් පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී  ඊයේ (05) මධ්‍යම රාත්‍රි 12.00 ට පමණ පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇඟේ හා ජීප් රථයේ ගැටීමෙන් ස්ථානාධිපතිවරයා හා පැදිකරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පානදුර පොලිසිය කියයි.  සිදුවූ අනතුරෙන් ජීප් රථයේ ඉදිරිපසට හා යතුරුපැදි දෙකටම බරපතළ අලාභහානි වී තිබෙන බව පොලිසිය කියයි.  තරුණයන් පිරිසක් අධිබල යතුරුපැදිවලින් පානදුර වලාන සිට පල්ලිමුල්ල ප්‍රදේශය හරහා තරගයට යතුරුපැදි ධාවනය කරන බවට පානදුර උතුර පොලීසියට ලද  තොරතුරක් අනුව ස්ථානාධිපතිවරයා හා කණ්ඩායමක් පල්ලියමුල්ල ප්‍රදේශයට යාමේ දී තරුණයන් පිරිසක් පල්ලියමුල්ල ප්‍රදේශයේ මාර්ගය අසල රැඳී සිටිනු දැක එම ස්ථානයෙන් ජීප් රථය නවතා බැස ඔවුන්ගෙන් මධ්‍යම රාත්‍රියේ මේ ස්ථානයේ රැඳී සිටින කාරණය පිළිබඳ විමසන අවස්ථාවේ දී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි. 


ස්ථානාධිපතිවරයා එම තරුණයන් පිරිස සමග කතා කිරීමට සැරසීමත් සමගම වලාන දෙස සිට විදුලි පහන් නිවාගෙන පැමිණි යතුරුපැදි දෙකෙන් එකක් ස්ථානාධිපතිවරයාගේ ඇඟේ ද අනෙක් යතුරුපැදිය ජීප්  රථයේ ඉදිරිපස ද ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.  ස්ථානාධිපතිවරයාගේ ඇ‍ඟෙහි යතුරුපැදිය ගැටීමත් සමග පැදිකරු ඊට මීටර් දෙක තුනක් ඈතින් වැටී ඇති අතර යතුරුපැදිය ඔහු නොමැතිව මිටර් තිස්හතරක් ඉදිරියට ගොස් නතර වී ඇතැයි ඔහු කීය. 

එම යතුරුපැදියේ ඉදිරිපස රෝදය හා ඒ ඉදිරිපස කොටස  දෙකට වෙන් වී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.  බරපතළ තුවාල ලබා සිටි ස්ථානාධිපතිවරයා හා තරුණයන් දෙදෙනා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. ස්ථානාධිපතිවරයාගේ පාදයකටත් අනෙක් තරුණයන් දෙදෙනාටම බරපතළ තුවාල සිදුවී ඇතැයි රෝහල්  ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.  බරපතළ තුවාල ලද තරුණයන් දෙදෙනා පානදුර උතුර ප්‍රදේශයේම පදිංචි 18 හැවිරිදි අයවලුන් බව පොලීසිය කියයි.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-