ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහල අද දින අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇගේ  වයස අවුරුදු 73 කි.

ප්‍රවීණ කලාකරු ලූෂන් බුලත්සිංහලගේ බිරිය වන අනුලාගේ පුතු හර්ෂ හා දියනිය ඉන්ද්‍රචාපාද කලාවට සම්බන්ධය.

වේදිකා නාට්‍ය හා චිත්‍රපටනිළියක වන ඇය 1967 ආර් ආර් සමරකෝන්ගේ ලෙඩක් නැති ලෙඩෙක් නාට්‍යයෙන් වේදිකාවට පිවිසියාය. පසුව හෙන්රි ජයසේනගේ කුවේණි නාට්‍යයේ කුවේණිය ලෙස කාලයක් රඟපෑමට අවස්ථාව ලැබීම ඇගේ දිවිමගේ කඩඉමකි. මහාසාර පොකුරු වැස්ස නරි බෑනා තාරාවෝ ඉගිළෙති මධුර ජවනිකා චන්ද කින්නරී වැනි නාට්‍ය වලද රඟපෑවාය.

රතුහැට්ටකාරී නාට්‍යයේ ඇය කළ රංගනය තවමත් විචාරක අවධානයට ලක්වන්නකි. දීකිරි දීකිරි ගෙනාව දීකිරි ලෙස ඇය ගැයූ ගිතය තවමත් ප්‍රකටය.

මාදම්පේ සුගතානන්ද මහ විද්‍යාලයේ  ආදිසිසුවියක වූ ඇය පසුකලෙක පණීභාරත යටතේ නර්තනය හැදෑරූ අයෙකි. මුලදී සතොස ආයතනයේ සේවය කළ ඇය එහිදී නාට්‍යවේදී ආර්ආර් සමරකෝන් මුණගැසුණ බවත් එයින් පසු ජීවිත ගමන වෙනස්වූ බවත් පවසා ඇත. ඇගේ සැමියා ලූෂන් ඇයට මුණගැසෙන්නේද වේදිකා රංගනය අතරතුරයි.

ටෙලිනාට්‍ය 30 කට ආසන්න ගණනකද රඟපා ඇති අනුලා නිදියහන මහින්දාගමනය වැනි චිත්‍රපටවලද රඟපෑවාය.

බුදුන් වඳින මේ දෑතින් වැඳලා කියන්නම් ඇය ගැයූ ප්‍රකට ගීතයකි.

අභාවප්‍රාප්ත අනුලා බුලත්සිංහලගේ අවසන් කටයුතු හෙට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.