කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැණිකේ දුම්රිය ඇල්ල අහස්නවය ආරුක්කු පාලමට නුදුරින් පිහිටි අංක 41 බිංගෙය ආසන්නයේදී පෙරේදා (10දා) පස්වරුවේ තරුණයන් පිරිසක් විසින් දුම්රිය මාර්ගයට විශාල ගල්දමා විශාල අනතුරක් සිදුකර දුම්රිය පෙරළීමට ගත් උත්සහායක් දුම්රිය රියැදුරුගේ දක්ෂතාව මත වැළකී ගිය බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පලායමින් සිටි තරුණයෙකු දුම්රිය සේවකයකු විසින් අල්ලාගෙන පොලීසියට භාරදුන් බවද ඇල්ල පොලීසිය පවසයි.

18 හැවිරිදි සැකකරු ඇල්ල යහලවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සෙසු සැකකාර තරුණයන් සිවුදෙනෙකු ඇඳ සිටි යට ඇදුම් පිටින් ගෙනැවිත් තිබූ ඇඳුම් බෑග්, යතුරුපැදි, ජංගම දුරකථන, මුදල් පසුම්බි, හැඳුනුම්පත්, හිස් ආවරණ දුම්රිය මාර්ගය අසල දමා ඒ අසල ලදු කැළෑව දෙසට පලාගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.

දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් එම දේපළ සියල්ල අත්අඩංගුවට ගෙන

බදුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය ආරක්ෂක ස්ථානයට ගෙන ගොස් තිබේ.

එහිදී බදුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය ආරක්‍ෂක අංශයේ ස්ථානාධිපති උපපරීක්ෂක කේ. ජයසේකර, දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් වන පී.එච්. නිව්ටන්, එච්. එම්.එම්.ආර්. බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිස එම ඇඳුම් බෑග්, මුදල් පසුම්බි, ජංගම දුරකථන, හැඳුනුම්පත් පරික්ෂා කර පලාගිය සැකකාර තරුණයන් සිවුදෙනෙකු හඳුනා ගත් බවත්, ඔවුන් ඇල්ල යහලවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18, 20 වයසේ පසුවන්නන් බවද දුම්රිය ආරක්‍ෂක අංශය සඳහන් කළේය.

කොළඹ - බදුල්ල අතර ධාවනය වන පොඩිමැණිකේ දුම්රිය පෙරේදා (10) පස්වරු 5.00ට පමණ ඇල්ල දුම්රිය ස්ථානය පසුකර දෙමෝදර දුම්රිය ස්ථානය කරා ළගා වෙමින් තිබියදී මෙම සිද්ධියට මුහුණ පා තිබේ.

මෙහිදී ඇල්ල අහස්නවය ආරුක්කු පාලම අසල අංක 41 දුම්රිය බිංගෙය ආසන්නයේදී දුම්රිය  මාර්ගයේ විශාල ගල් කීපයක් තබා තිබෙන අයුරු දුම්රිය රියැදුරු දැක වහා තිරිංඟ තදකර දුම්රිය නවතා ගෙන සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට සමත්ව තිබේ.

මෙම සිද්ධියෙන් පසුව පලායමින් සිටි තරුණයකු රාජකාරියේ නිරතව සිටි දුම්රිය මාර්ග මුර සංචාරයක නිරතවී සිටි සේවකයෙකු විසින් අල්ලාගෙන පොලීසියට භාරදී තිබේ.

බදුල්ල දුම්රිය ආරක්ෂක අංශයේ ස්ථානාධිපති උප පරික්ෂක කේ. ජයසේකර, දුම්රිය ආරක්‍ෂක නිලධාරින් වන එච්.එම්.එම්.ආර්. බණ්ඩාර, පී.එච්. නිව්ටන් යන මහත්වරුන් ඇතුළු පිරිස විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගේ දේපළ සමඟ අදාළ තොරතුරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ඇල්ල පොලීසියට භාරදී ඇති අතර, ඇල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

- ප්‍රසාද් රුක්මල් -