ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ පළමු කාන්තා නිලධාරිනිය ලෙස බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය ඊයේ ඉතිහාසයට එක්වූවාය. 
දැනට පුරප්පාඩුව පවතින සුබසාධක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ඇය පත්කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කරන ලදුව පසුගිය 08 වැනිදා සිට ඇය මෙම තනතුරට පත්කර ඇත.


 ඇය ජ්‍යෙෂ්ඨත්ව අනුව ඉහළින්ම සිටින කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියද වෙයි. 
 ඇයගේ පත්වීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන්ගේ නම් 09ක් ඉදිරිපත් කළ අවස්තාවේ නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා ඉන් නමක් අනුමත කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබුණි.‍ 

 ඒ අතර සිටි ජ්‍යෙෂ්ඨතම පොලිස් අධිකාරිනිය වන පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා කාර්යාංශයේ කටයුතු කළ, බිම්සානි ජාසිංආරච්චි මහත්මියගේ නම ඒ සඳහා තෝරාගන්නා ලදි. 

 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි ජාසිංහරාච්චි මහත්මිය1997 දී පොලිස් පරීක්ෂකවරියක ලෙසින් පොලිස් සේවයට බැඳුණු අතර වසර 2017 දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියක ලෙස උසස් කරන ලදී. 
 මින් ඉහත පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දැරූ (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි) ප්‍රථම කාන්තා නිලධාරිනිය වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි ප්‍රමිලා දිවකර මහත්මියයි. 

පොලිස් සේවයට බැඳුණු පළමු කාන්තා නිලධාරිනියද වූ ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරය දරමින් සිටියදී විශ්‍රාම ගත්තාය. නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා කාන්තා පොලිස් නිලධාරිනියක් පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.