ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණ තැත ගැන කරුණු හෙළි කළ නාමල් කුමාර නම් පුද්ගලයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති කාර්‍යාලයෙන් වැටුප් ලබා ගෙන ඇති බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (09) අනාවරණය කළා.

ඒ පාස්කු ප්‍රහාරය පිලිබඳ විමර්ශනය කෙරෙන  ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදෙමින්.

පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (09)  සාක්ෂි ලබාදුන්නේ 9 වැනි දිනටයි. එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා හිටපු පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේ,

” ඔබ අප්‍රේල් 9 වෙනිදා ඔබේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ප්‍රහාරය සම්බන්ධයෙන් වන බුද්ධි තොරතුර ‘FNA’ ලෙස පමණක්  සටහන් කළේ ඇයි ද ? ” යන්නයි.


ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සදහන් කළේ ” ඒ තොරතුරු ඇතුළත් ලිපිය රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා එවපු එකක්. එහි මූලාශ්‍රයක් ගැන සඳහන් වෙලා නැහැ. එහි තිබුණ තොරතුරුවල ස්ථීරභාවය ගැන රාජ්‍ය බුද්ධි සේවයත් තහවුරු කරලා තිබුණේ නැහැ. ඒකත් ගැටලුවක්. අනික මේ වෙද්දි ජනාධිපති මට දීලා තිබුණා ඉස්ලාම් අන්තවාදය ගැන හොයන්න එපා කියලා නියෝගයක් මේ කාරණා සියල්ල ගැන හිතලයි මම FNA විතරක් යොදලා මගේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනාට යැව්වේ. ”

මෙහිදි කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ    ” මෙතරම් වැදගත් තොරතුරක් ලැබිලත් ඇයි හිටපු  ජනාධිපතිතුමා මේ කොමිසමේ කියපු විදියට එතුමා රට යනකොටත් ගුවන්‍ යානයට නැගපු ඔබ මේ ගැන එතුමාට නොකිව්වේ ? ”

” මට මතක විදියට මම එදා ගුවන් තොටුපළේදි ඔය කියන විදියට ෆ්ලයිට් එක ඇතුළට ගිහින් ආවේ නැහැ ස්වාමීනි. මම දන්නවා එතුමා මම කෙරෙහි ලොකු අප්‍රියතාවකින් හිටියේ. මාව එච්චර එතුමට රුචි නෑ.

මම එතුමාට කතා කළත් අහක බලන් ‘ ඇයි මොකද’ කියලා කේන්තියෙන් අහනවා. ඉතින් මම කොහොමත් කතා කරන එක මඟහැරියා. අවස්ථා කිහිපයක හමුවෙලත් මං ඔය තොරතුර දුන්නේ නෑ කියලා  එතුමා කියනවා යැයි ” පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළා. එවිට ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසුවේ ” නිකම් නෙවෙයිනේ ජයසුන්දර මහත්තයා… ජනාධිපතිතුමා කිව්වේ අවුරුද්දට ඇවිත් පැය 2ක් ඉදලා දවල්ටත් කාලා ගියා ඒත් කිව්වේ නැහැ කියලානේ..?”

” ස්වාමීනි ඒක පට්ට පල් අමූලික බොරුවක්. මම එහෙ හිටියේ විනාඩි 20ක් විතර. මම ඔය කියන දවසේ අවුරුද්දට බුලත් දෙන්න යන්න කලින් ජනාධිපති ආරක්ෂක දිසාව භාර රොහාන් සිල්වාට කිව්වා ගේට්ටුව ළඟට එන්න මාත් එක්ක ඇතුළට යන්න කියලා. මොකද මම දන්නවා මෛත්‍රීපාල මහත්තයට මාව අගුණ වුණාට රොහාන් එතුමාගෙ කෙනා නිසා ප්‍රශ්නයක් නැහැ කියලා .ඉතින් මම රොහාන් එක්ක ඇතුළට යද්දි බුලත් දෙන්න  ගොඩක් අය ඇවිත් හිටියා. මම ගිහින් බුලත් දුන්නා මාත් එක්ක එක වචනයක් කතා කළේ නැහැ. මම දවල්ට කන්න තියා එතනින් වතුර උගුරක්වත් නොබී ආයෙ ආවා ස්වාමීනි, මේ ප්‍රශ්න දන්න නිසා මගේ බිරිඳවත් මාත් එක්ක ආවේ නැහැ” යනුවෙන් පූජිත් ජයසුන්දර මහතා සාක්ෂිලබාදුන්නා.

එහිදි විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ

” ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමා කියලා තියෙන්නේ බොරුද? ”

” හිටපු ජනාධිපතිතුමා පුරුද්දක් හැටියට බොරු කියනවානේ. ඒක එතුමාගෙ පුරුද්ද. අර නිශාන්ත සිල්වා මාරු කරන්න කියලා ආයෙ එහෙම කිව්වේ නෑ කිව්ව එකත් එහෙමනේ “පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කලා. ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු නැවත පූජිත් ජයසුන්දර මහතාගෙන් විමසුවේ ” ඔබ මෙතෙක් නොකියපු තව මොනවාද තියෙන්නේ ?” ඊට පිළිතුරු ලබාදෙමින් පූජිත් ජයසුන්දර මහතා සදහන් කළේ ” ස්වාමිනි මෙතෙක් එළියට නොදාපු ගොඩක් දේවල් තියෙනවා. එකක් තමයි නාමල් කුමාරගේ සිද්ධිය. නාමල් කුමාරව මම දැනගෙන සිටියේ නැහැ. ඔහු දවසක් මගේ දුරකතන අංකය හොයාගෙන මට කෝල් කරලා කිව්වා මත්ද්‍රව්‍ය සම්බන්ධ අය ගැන තොරතුරු දෙන්නම් කියලා.

මමත් කිව්වා ‘හරි ඔයා තොරතුරු දෙන්න අපි ඔයාට පොලිස් ත්‍යාග අරමුදලෙන් මුදල් දෙන්නම්’ කියලා. ඊටපස්සෙ මම DIG නාලක සිල්වාට නාමල් කුමාරව සම්බන්ධ  කරලා කිව්වා තොරතුරු ගන්න කියලා. ඒ තොරතුරු මත අපි ඔහුව හා පිරිසක් සැලසුම් සහගතව මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට අරන් පසුව නාමල් කුමාරව නිදහස් කළා. ඊට පස්සෙ දින කිහිපයකින් නාමල් කුමාර මට ආයෙත් කෝල් කරලා කිව්වා ‘සර් බලන්නකෝ නාලක මහත්තයා පොරොන්දු වුණ විදියට කතා කරන්නේ නැහැනෙ’ කියලා. මම මේ ගැන නාලකගෙන් ඇහුවම නාලක කිව්වා ‘සර් ඒ යකා පිස්සෙක්. මහා පණ්ඩිතයෙක්’ කියලා. මං ඒත් කිව්වා අපි පොරොන්දුවක් වුණානේ ඒ නිසා එයාව ගෙන්වලා සල්ලි දෙන්න කියලා. ඊටපස්සෙ නාමල් කුමාරට විග් එකක් දාල වෙස් ගන්වලා CID වාහනයකින්ම ඔහුව ගෙන්වලා රුපියල් ලක්ෂ දෙකහමාර ගානේ චෙක් දෙකක් දීලා යැව්වා පොලිස් ත්‍යාගයක් විදියට. එතනින් අපේ ගණුදෙනුව ඉවරවුණා. මෙන්න ඊට පස්සේ මේ මනුස්සයා මාධ්‍ය සාකච්ඡා තියලා අපිට මඩ ගහලා නාලක ගැන අර කතාවක් කිව්වා. ඊටපස්සෙ දවසක ජනාධිපති මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයේ සභාපති ලෙස කටයුතු කළ හිටපු වෛද්‍ය සමන් කිතලවආරච්චි මහත්තයා මගෙන් ඇහුවා ඇයි අර නාමල් කුමාර ඔයාලට මෙහෙම කතාකරන්නේ හොදටම ගහනවා නේද?  නාමල් කුමාර අපේ දේශකයෙක් විදියට වැඩ කරන්නේ, එයාට ජනාධිපති කාර්‍යාලයෙන් ඒකට පඩි ගෙවනවා කියලා කිව්වා.ඉතින්  ඔහු ජනාධිපති කාර්‍යාලයට සම්බන්ධ එහි වැටුප් ගන්න කෙනෙක් කියලා දැනගත්තාම එක පාරට ආපු නාමල් කුමාර කවුද කියල මට තේරුනා  ”

අනතුරුව හිටපු පොලිස්පතිවරයාගෙන්  2017 මාර්තු 10 සිදුව තිබූ අලියාර් මංසන්ධියේ ගැටුම සහ ඉන් පසු සහරාන් හෂීම් සැඟවීම සම්බන්ධව කාත්තන්කුඩි පොලිසියට චෝදනා එල්ල වූයේද යන්න විමසා සිටියා.

එහිදි හිටපු පොලිස්පතිවරයා සදහන් කළේ

” අලියාර් මංසන්ධියේ ගැටුමට පස්සේ කාත්තන්කුඩි පොලිසියට චෝදනාවක් ආවා සහරාන් සමඟ සමීපව කටයුතු කරනවා කියලා. මං මේ පිලිබදව  පරීක්ෂණයක් කරන්න කියලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකරට නියෝගයකුත් කළා. ”

එහිදි ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු පූජිත් ජයසුන්දර මහතාගෙන් විමසුවේ ” ඔබට කියන්න පුලුවන්ද මේකට දේශපාලන බලපෑමක් තිබුණාද කියලා ? ”

” මම පැහැදිලිවම විශ්වාස කරනවා ඇඟිලි ගහන්න බැරි විදිහට විදේශ මුදල් තොගයක් ගලාගෙන එනකොට දේශපාලන බලපෑමක් තිබුණා කියලා. පැහැදිලිවම මට ලැබුණු තොරතුරු අනුව හිස්බුල්ල තමයි ඒ. ඒක වඩාත් පැහැදිලි වෙනවා මේ කොම්සමේදීම හෙළිවුණ වීඩියෝවක සහරාන් කියනවනේ ‘හිස්බුල්ලට විදෙස් මුදල් ලැබීම ගැන අකමැත්තක් නැහැ’ කියලා. ” යනුවෙන් පූජිත් ජයසුන්දර මහතා  සාක්ෂි ලබාදුන්නා.

ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේ තමන් නීතිය හා සාමය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතැම් නඩුවලට සම්බන්ධ සැකකරුවන් නිදහස් කිරීමට සිදුකළ බලපෑම් හේතුවෙන් බවයි.