ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් කාර්යමණ්ඩල සියලු සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 341 දෙනා පී.සී.ආර්. පරික්ෂණ සහ දින 14ක අනිවාර්ය නිරෝධායනය ඇතුළු රජයේ නිර්දේශිත සියලු නිරෝධායන පිළිවෙත් අනුගමනය කළ අතර අදාළ මහජන පරික්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ මත් දින 14ක් ස්වයං නිරෝධායනයට ද ලක් කෙරුණු බව බ්‍රැන්ඩික්ස් ආයතනය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.  ඒ බව තහවුරු කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරන ලද අදාළ සහතික ඉදිරිපත් කිරීමට සූදානම් බව ද බ්‍රැන්ඩික්ස් සමාගම සඳහන් කරයි. අදාළ නිවේදනයේ මෙසේ ද දැක්වෙයි.  2020 ඔක්සතෝබර් මස 11: මිනුවන්ගොඩ පිහිටි අපගේ කර්මාන්තශාලාවේ ඇතිවූ  කොවිඩ්-19 තත්වය පිළිබඳ සියලුම පාර්ශ්වකරුවන් හට ඇති වී තිබෙන යම් ගැටලු පැහැදිලි කිරීම සඳහා පහත පැහැදිලි කිරීම  ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. 

ඒ අනුව,  ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට

ගෙන්වා ගත්  අපගේ ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයන්  සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රජය විසින්  නිර්දේශ කර ඇති සියලුම තිරෝධායන පිළිවෙත් අනුගමනය කර ඇති බව සාක්ෂි සහිතව යළිත් අවධාරණය කිරීමට කැමැත්තෙමු. ජුනි මස 25, අගෝස්තු මස 8 සහ සැප්තැම්බර් මස 22 වනදා ඉන්දියාවේ  විශාකාපට්නම්හි  අපගේ කර්මාන්තශාලාවල සිට මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 341 දෙනා, PCR පරීක්ෂණ සහ දින 14ක අනිවාර්ය නිරෝධායනය ඇතුළු රජයේ නිර්දේශිත සියලු නිරෝධායන පිළිවෙත් අනුගමනය කළ අතර අදාළ මහජන පරික්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ තවත් දින 14ක් ස්වයං නිරෝධායතයට ද ලක් කෙරුණු බව අපි යළිත් අවධාරණය  කරන්නෙමු.

රජයේ අනුමත නිරෝධායන පරිශ්‍රයක අනිවාර්ය දින 14ක නිරෝධායන කාලය සම්පූර්ණ කළ පසුව එලෙස අදාළ පුද්ගලයා නිසි නිරෝධායනයට ලක්වූ බවට සනාථ කරමින් කොවිඩ්-19 පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අත්සන් යොදන ලද සහතිකයක් ද පිරිනැමිණි. පළමු ගුවන්යානා දෙක හරහා මෙරටට පැමිණි මගීන් අදාළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ දින 14ක ස්වයං නිරෝධායනයට ලක් කෙරිණි. අදාළ මහජන පරීක්ෂකවරයා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් අත්සන් යොදන ලද, ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සම්පුර්ණ කරන ලද බවට සහතිකයක් සෑම මගියකුටම අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විසින්  නිකුත් කර ඇත. 2020 සැප්තැම්බර් මස 22 වනදා මෙරටට පැමිණි මගීන් 48 දෙනා මේ වනවිට අදාළ මහජන පරික්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ දින 14ක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර එම ක්‍රියාවලිය සම්පූර්ණ කළ පසුව ඉහත සඳහන් සහතික ඔවුන්ට ද නිකුත් කෙරෙනු ඇත. 

මේ සම්බන්ධව විමර්ශන සිදුකරන ඕනෑම රජයේ බලධාරියකු හට මේ පිළිබඳ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා එම සහතික ඉදිරිපත් කිරීමට ද අපි සුදානමින් සිටිමු.  තවද, පසුගිය මාස දෙකක කාලය තුළ අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට ඉන්දියාවේ සිට පැමිණි කිසිවකු ඇතුළු නොවූ බවත්, එම කර්මාන්තශාලාව ඉන්දියාවෙන් කිසිදු ඇණවුමක් බාර නොගත් බවත්, එහි නිෂ්පාදන කටයුතු සඳහා ඉන්දියාවේ රෙදි-පිළි භාවිත නොකරන බවත් යළිත් අවධාරණය කරමු. බ්‍රැන්ඩින්ස් සමාගම තුළ, කොවිඩ්-19 වයිරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය සහ ආරක්ෂණ පිළිවෙත් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කළෙමු. මෙම වසංගත තත්ත්වය පාලනය කිරිම සඳහා අදාළ බලධාරින් සමග මේ වනවිට ද අපි සහයෝගය ලබාදෙමින් සිටින අතර, වෙනස් වී ඇති තත්ත්ව සඳහා වඩාත් හොදින් මුහුණදීම සඳහා අපගේ සෞඛ්‍ය සහ ආරක්ෂණ ක්‍රියාවලි වෙනස් කිරීමට ද අප කටයුතු යොදා ඇත. 

සෞඛ්‍ය බලධාරින්ට අමතරව අප ද මෙම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයේ යම් අතපසුවීමක් සිදුවී තිබේ ද යන්න දැඩි පරික්ෂාවට ලක්කරමින් සිටින අතර,

එම පරීක්ෂණ මගින් ලබාගන්නා නිගමන රටට  හෙළි කිරීමටත්, එවැනි යම් අතපසුවීමක් සිදුවී තිබේ නම් ඒ පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ග අනුමගනය කිරීමටත් බැඳී සිටිමු.  මෙම වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ  කාර්යමණ්ඩල සාමාජිකයන් කඩිනමින් නිරෝධායනයට ලක් කිරීමට හෝ රෝහල්ගත කිරීමට අපොහොසත් වීමක් පිළිබඳව ද මැතකදී යම් මාධ්‍ය වාර්තා පළවිය. මේ පිළිබඳ රජයේ නිලධාරින් සමග අප කටයුතු කරමින් සත බවත්, එම තත්වය මේ වනවිට විසදෙමින් ඇති බවත් දැනුම්දීමට කැමැත්තෙමු. අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ මගපෙන්වීම යටතේ අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් සුව කරගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කරන බවත් මෙයින් අවධාරණය කරමු.

අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂාව  සහ මනා දිවි පැවැත්ම තහවුරු කිරීම සඳහා,  අදාළ බලධාරින් සමග අත්වැල් බැඳගනිමින්, නිරෝධායන මධ්‍යස්ථාන සහ රෝහල් සඳහා අවශ්‍ය සැපැයුම් ලබාදීමට අපට හැකි උපරිමයෙන් සහයෝගය ලබාදෙමු. එම උත්සාහයේ එක් පියවරක් ලෙස, අපගේ රඹුක්කන පෙර පැවැති කර්මාන්තශාලාව  ඇඳන් 300කගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කළමනාකරණය කරනු ලබන  නිරෝධායන මධ්‍යස්ථානයක් බවත් පත්කර ඇති අතර ඒ තුළ අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නිරෝධායන ක්‍රියාවලිය පුරාම නේවාසිකව රැදී සිටිනු ඇත. 

තවද, මේ වසරේ  මුලදී අප විසින් කොවිඩ්-19 වසංගත තත්ත්වය ආරම්භයේදී ලබාදුන් මඩකලපුවේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානය ද අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ වෙනත් ඕනෑම ආසාදිත රෝගියකු වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක  කෙරේ. අප රටේ මහජනයාගේ සෞඛ්‍යය සහ මනා දිවි පැවැත්ම තහවුරු කිරීම සඳහා දිවා  රෑ නොබලා දැඩි ලෙස වෙහෙසෙන ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය නිලධාරින්, ත්‍රිවිධ හමුදාව, වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්යමණ්ඩලයට අපගේ හෘදයාංගම කෘතවේදීත්වය පළකර සිටිමු. මෙම ක්‍රියාවලියේ ඕනෑම මොහොතක අපගේ උපරිම සහයෝගය ලබාදීමටත්, ඉදිරියේදී ද තහවුරු කරගත් තොරතුරු හරහා  ඔබ දැනුම්වත් කිරීමටත් අපි කටයුතු කරමු.  මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ  අපගේ කණ්ඩායමට සහ වයිරසය ආසාදනය  වූවන්ට ඔබගේ සහයෝගය ලබාදෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ඔවුන් යළි සුවය ලබන තුරු ඔවුන්ට හැකි උපරිමයෙන් සහයෝගය ලබාදීමට අපි කටයුතු කරමු.