රුපියල් පනස්දහසක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පූගොඩ පොලිසියේ රඳවාගෙන සිටිය දී හදිසියේ රෝහල්ගත කළ බව කියන 20 හැවිරිදි විවාහක තරුණයකු රාගම රෝහලේ දී මියගොස් ඇතැයි පූගොඩ පොලිසිය කියයි. මණ්ඩාවිල කන්ද පාර පදිංචි ගයාන් පුෂ්පකුමාර (20) නමැති තරුණයා මෙලෙස මියගොස් ඇත.  ඇඹිලිපිටිය, පල්ලෙබැද  ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම තරුණයා වසර හතරකට පමණ ඉහත දී මෙම ප්‍රදේශයට පැමිණ තරුණියක විවාහ කරගෙන ඇයගේ නිවසේ පදිංචිව සිටි පුද්ගලයකු බව පොලිසිය කියයි. ස්ථිර රැකියාවක නිරත නොවන මෙම තරුණයා එදිනෙදා කුලී වැඩ කරන අයෙකු බවත් ඔහු හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූවකු බවත් පරික්ෂණවල දී අනාවරණය වී තිබේ.


සැකකාර මියගිය තරුණයා ඉකුත් 11දා පෙරවරුවේ දී තවත් පිරිසක් සමගින් මණ්ඩාවිල පොල්ගස්ලන්ද ප්‍රදේශයේ සිමෙත්ති ගල් පැටවීම සඳහා ගිය අවස්ථාවේ දී එම ලොරියේ තිබී නැතිවී ගිය රුපියල් 50,000ක් සොරකම් කළ බවට සැකකොට මුදල් අයිතිකරු හා තවත් කීප දෙනකු විසින් එම තරුණයා අල්ලා පොලිසියට භාර දී ඇති බවත්, පසුවට තරුණයා පදිංචි නිවසේ දී පොලිස් නිලධාරින් ද ඔහුට පහර දුන් බවත් පවුලේ ඥාතීහු පවසති.  කෙසේ වෙතත් පොලිසියට රැගෙන ගිය එම තරුණයා 11 වැනිදා දහවල් රෝගී තත්වයක් හේතුවෙන් රඳාවාන රෝහලටත් පසුව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් තරුණයා පදිංචිව සිටි නිවසට හා පොල්ගස්ලන්ද ප්‍රදේශයට පැමිණි පූගොඩ මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (13) දහවල් සිදු කරනු ලැබීය.


මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (13) රාගම  රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණ.  වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ අශ්වාරෝහක බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මාරපන  මහතාගේ මෙහෙයවීම මත සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ෂන සිදුකෙරේ.  මේ සම්බන්ධයෙන් පූගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.කේ.එම්.එස්. වන්නිආරච්චි මහතාගෙන් කළ විමසුමක දී කියා සිටියේ තමා හෝ තම පොලිසියේ කිසිදු පොලිස් නිලධාරියකු මෙම සැකකාර තරුණයාට පහරදීමක් සිදුනොකළ බවය.