ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාට අයත් පෞද්ගලික දේපළක් වන රන් ආලේපිත සුඛෝපභෝගී හෙලිකොප්ටරය අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කර ඇතැයි වාර්තා වෙයි. 1989 වසරේදී නිපදවූ මෙම හෙලිකොප්ටරය Sikrosky S-76B මාදිලියට අයත් වූවකි. මෙහිදී හෙලිකොප්ටර් යානය එක්සත් ජනපද ඩොලර් 875,000ක්, එනම් රුපියල් දහසය කෝටියකට මිල කෙරී ඇත. 


සුඛෝපභෝගී, හම්වලින් සැකසු ආසන සහිත, රන් ආලේපිත, අප්‍රිකානු මැහෝගනී ලීයෙන් අභ්‍යන්තරය සැකසු මෙම හෙලිකොප්ටරය, ජනපති ට්‍රම්ප් වඩාත් ඉහළ ප්‍රසාදයක් දිනාගත් ඔහු සහභාගි වූ 'The Apprentice' නම් රියැලිටි වැඩසටහන සඳහාද යොදාගෙන තිබූ ජනප්‍රිය හෙලිකොප්ටරයක් විය.

සිය දෙවැනි ජනපති ධුර කාලය සඳහා ඩොලර් බිලියන ගණනින් වියදම් කරමින්, ජනපති සටනට ඉදිරිපත්ව සිටින ට්‍රම්ප් සතු වත්කම් ක්‍රමයෙන් හීන වී යාම මෙලෙස එම හෙලිකොප්ටරය අලෙවි කිරීමට හේතුව වී ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.

මෙම දැන්වීමේ සඳහන් ආකාරයට එම හෙලිකොප්ටරය ආසන්න වශයෙන් පියාසර පැය 6,259ක් සම්පූර්ණ කර ඇත. එහෙත් එම දැන්වීම තුළ හෙලිකොප්ටරයේ පිටුපස කොටසේ සඳහන් කර තිබූ  "TRUMP" යන ලෝගෝව ඉන් ඉවත් කිරීම සිදු කර ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි. 

මීට පෙර ජනපති ට්‍රම්ප් සිය ප්‍රථම ජනපතිවරණ මැතිවරණ සටනේදී සිය ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන්ද මෙම හෙලිකොප්ටර් යානය භාවිත කර තිබුණි. එහිදී ඔහු 2015 වසරේ පැවැති ඉඔවා ස්ටේට් ෆෙයාර් උත්සවයේදී දරුවන් සඳහා හෙලිකොප්ටර් සවාරියක් යාමට මෙම යානය ලබා දී තිබේ.