සිය ජීවිතයේ සැඳෑ සමය ගත කරන, අතට මිල මුදල් යහමින් ඇති වයෝවෘද්ධ  බ්‍රිතාන්‍ය කාන්තාවන් බොහෝ දෙනෙකු තමන්ට වඩා බොහෝ සේ වයසින් අඩු තරුණයන් සොයා අද වනවිට අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි ගැම්බියාවේ
වෙරළ වෙත පැමිණෙන බව බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව අනාවරණය කරයි.
මේ සම්බන්ධයෙන් වාර්තා වැඩසටහනක් නිර්මාණය කරමින් ඔවුන් එම තොරතුරු පසුගියදා සමාජය වෙත මුදාහැර තිබේ. එහිදී නාලිකාවේ වාර්තාකරුවෙකු වන සෙයි රෝඩ්ස් ගැම්බියාවේ සුප්‍රකට වෙරළ වෙත ගොස් මේ පිළිබඳව තොරතුරු විමර්ශනයේ යෙදෙමින් මෙම වාර්තා වැඩසටහන සකස් කර තිබේ.
පැයක් දීර්ඝ මෙම වාර්තා වැඩසටහන 'Sex on the Beach' ලෙස නම් කර තිබේ. මෙහිදී අදාළ වාර්තාකරු වැඩි වශයෙන්ම කරක්ගසා ඇත්තේ මෙලෙස ලිංගික ආශාවන් වෙනුවෙන් පැමිණෙන බ්‍රිතාන්‍ය වයෝවෘද්ධ කාන්තාවන් වැඩි වශයෙන්ම පැමිණන වෙරළ තීරයන් තුළය.

මෙම වාර්තා වැඩසටහනේ සඳහන් ආකාරයට මෙලෙස පැමිණි එක් බ්‍රිතාන්‍ය කාන්තාවක් සේයි වෙත පවසා සිටින්නේ තමාට නම් ගැම්බියාව සුරපුරයක් බවකි. "ඔබට සෑම රාත්‍රියකදීම එකකට එකක් වෙනස් පිරිමින් හමුවෙනවා.” ඇය එහිදී පවසා සිටියි.

මේ අතර මෙලෙස සබඳතා ඇති කරගන්නන් අතර පවතින සංස්කෘතික පරතරය, වයස සහ වත්කම් අතර පරතරය යන කාරණා අනුව එකී සබඳතා පැහැදිලිවම නිර්ව්‍යාජ සබඳතාද යන්න අදාළ වාර්තකරුවා මෙම පිරිසගෙන් විමසා සිටියි.  එහෙත් ගැම්බියාවේ වෙරළේ සිටින තරුණ පිරිමින් සඳහන් කරන්නේ මේ පැමිණෙන වයස්ගත යුරෝපියානු කාන්තාවන් හුදෙක් නිවාඩුව ගත කිරීම සඳහා පැමිණෙන පිරිසක් පමණක් බවය. එහිදී ඔවුන් තරුණයන් සමඟ හැසිරී සිය අවශ්‍යතාව සපුරා ගැනීමෙන් අනතුරුව ඔවුන්ව අතහැර යන බව තමන් දන්නා බවද ඔවුන් පවසයි.