තලාතුඔය, දූල්මුරේ, මිහිඳුතැන්න ප්‍රදේශයේ මවක සිය මාස හයක් වූ බිලිඳු වඩාගෙන සායනයකට යමින් සිටිය දී මාර්ගය ආසන්නයේ නිවසක වූ බල්ලකු සපා කෑමට ඇගට පැනීම හේතුවෙන් දරුවා බිම වැටී බරපතළ තුවාල ලබා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (11) මියගොස් තිබේ.  ඇය දරුවා වඩාගෙන වෛද්‍ය සායනයට  යාම සඳහා ඉකුත් 29 වැනිදා උදෑසන 5.30 ට පමණ කොන්ක්‍රීට් කරන ලද මඟක් ඔස්සේ  ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති අතර බල්ලා ඇයගේ ඇඟට පැන සපා කෑමට උත්සාහ කිරීමේදී දරුවා විසිවී බිමට වැටුණු බව ඇය පොලිසියට පවසා තිබේ.  නිවසේ සිට මීටර් 300ක් පමණ ඇය දරුවා වඩාගෙන පැමිණ ඇත. මාර්ගය ආසන්නයේ වූ නිවසක ඇති කරනු ලබන බල්ලෙක් ඇගට පැන්න බවත් මාර්ගය පල්ලම් සහිත ස්ථානයක්  බැවින් දරුවා තමා අතින් ගිලිහී බිමට වැටුණු බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.


ඇයගේ සැමියා නාවික හමුදාවේ සේවය කරන අතර දැනට ඔහු කල්මුණේ කඳවුරේ සේවය කරන බව ඇය පවසයි.  කුලී පදනම මත දූල්මුරේ ප්‍රදේශයේ පදිංචිව සිටින ඔවුන් විල්ගමුව ගුරුවෙල් යාය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.  මියගිය දරුවාට වැඩිමහල් තවත් දරුවන්  දෙදෙනෙකු සිටින බව ඇය පැවසුවාය.  දරුවාගේ නළල පැලී බරපතළ තුවාල සිදුවී රෝහල්ගත කිරීමෙන් අනතුරුව පෙර්දා (11)  දින මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ අනර්ඝ තේජාන් නමැති මාස හයක පිරිමි දරුවකු වන අතර, පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර රෝහලේ දී සිදුකිරීමට නියමිතය.

-ටී.එච්.සරත්