බ්‍රිතාන්‍ය තුළ ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසයේ බලපෑම නිසා සිදුව තිබෙන ආර්ථික කඩා වැටීම හේතුවෙන් සාමාන්‍ය තත්ත්වයට වඩා දෙගුණයකින් එරට තරුණ සහ සුදු ජාතික නොවන සේවකයන්ගේ රැකියා අහිමිවීමක් සිදුව ඇතැයි අලුත්ම අධ්‍යයනයක් මගින් පවසයි.

The Resolution Foundation නම් සමීක්ෂණ ආයතනයක් මෙම අධ්‍යයනය සිදුකර තිබේ. ඔවුන් පවසන ආකාරයට වයස අවුරුදු 18ත් 24ත් අතර වයසේ පසුවන පිරිසගෙන් 19%කට සහ සුළු ජනවර්ගයන්ට අයත් සේවකයන්ගෙන් 22%කට මෙලෙස සිය රැකියා අහිමිවීම සිදුව තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසය පාදක කරගනිමින් සේවකයන් 6,000ක් යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

බ්‍රිතාන්‍යයේ YouGov නම් ජනමත සමීක්ෂණ ආයතනය මෙම දත්ත රැස් කරගෙන ඇත. එහි සඳහන් ආකාරයට මෙම රැකියා අහිමිවීම් අතරින් බහුතරය නිවාඩු ක්ෂේත්‍රය තුළින් වාර්තා වී තිබේ. මෙම අංශය දැනටමත් නව කොරෝනා වසංගතයේ දරුණු බලපෑමට ලක්ව තිබෙන ක්ෂේත්‍රයක් වෙයි. එසේම බ්‍රිතාන්‍යයේ වෙසෙන වඩාත් තරුණ සහ සුදු ජාතික නොවන සේවකයන් වැඩි පිරිසක් යෙදී සිටින ක්ෂේත්‍රය ලෙසද හඳුනාගෙන තිබේ.

"මේ වසංගතය නිසා සිය රැකියා අහිමිවූවන්ගෙන් හරි අඩකටත් වඩා අඩු පිරිසකට තමයි යළිත් රැකියාවක් සොයාගැනීමට පවා හැකියාව ලැබී තිබෙන්නේ. මේ මහජන සෞඛ්‍ය අර්බුදය තවදුරටත් රට තුළ පැවතුණාත්, බ්‍රිතාන්‍යයේ රැකියා අර්බුදය තවත් දිගු කාලයකට පවතී." The Resolution Foundation" විශ්ලේෂිකාවක පවසයි.