කළුතර, ජාවත්ත බන්ධනාගාරයේ බී - වට්ටුව ඉලක්ක කර ටෙනිස් බෝලයක් තුළට හෙරොයින් ග්‍රෑම් 50 ක් දමා විසි කිරීමට පැමිණි 21 හන්දි සැකකාර තරුණයා හා එම මත්ද්‍රව්‍ය ටෙනිස් බෝලය වේගවත් යතුරුපැදියක් ද සමග ඉකුත් 23 වැනිදා රාත්‍රියේ බන්ධනාගාරය ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අංක 1 අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.  පැතිර යන කොරෝනා අවදානමද නොතකා සැකකරුට මත්ද්‍රව්‍ය පානය කිරීමට දී කාන්තාවක විසින් මොහු ජාවාරමට යොදවනු ලැබූ බව  අනාවරණය කරගෙන තිබේ.


තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහී වී සිටින අත්අඩංගුවට පත් සැකකරු මෙයට සති දෙකකට පෙර මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ එම බන්ධනාගාරයේම දඩුවම් ලැබ ඇප මත පැමිණි අයකු බවත් මෙම මත්ද්‍රව්‍ය  ටෙනිස් බෝලයක බහා සැකකරුට ලබාදී ඇත්තේ සැකකාර තරුණයා පදිංචි කිතුලාව ප්‍රදේශයේ කාන්තාවක බවත්, එම කාන්තාවගේ සැමියා ද මේ වන විට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාර ගතව සිටින බවත් පොලිස් නිලධාරිහු කියති.  මේ වන විට සැකකරුට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාව ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය කියයි. බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය විසි කිරිමට පැමිණි සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙම නිලධාරීන් පැය 12 ක පමණ කාලයක් ආවේක්ෂණ රාජකාරියේ සිටි බවත් කියයි.  අත්අඩංගුවට පත් සැකකරු කළුතර අධිකරණයට ඉදිරිපත් කර තිබේ.