මතුගම දක්ෂිණ අධිවේගී මාර්ගය ආසන්න නිවසක පසුගිය 27 වැනිදා රාත්‍රී සිදුවූ පවුල් ආරවුලක් තරමක අසාමාන්‍ය මුහුණවරක් ගෙන තිබෙන අතර මෙම සිදුවීමෙන් පුද්ගලයෙකු හා ඔහුගේ මව මියගොස් තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුව ඇත.

වාර්තා මගින් හෙළිවන ආකාරයට මල්ලී අයියා සහ අම්මා අතර දේපළ සම්බන්ධ කථාබහක් මෙම ආරවුලට හේතුවී තිබේ.

මෙම කථාබහේදී ක්ෂණික කෝපයට පත් මල්ලී මන්නයක් අතට ගෙන අයියාට පහරදී ඇති අතර අයියා ලේ පෙරාගෙන බිම වැටුණ අවස්ථාවේ ඔහු මියගොසින් යයි බියවී ඇති මල්ලී නිවසින් වහා පළාගොස් නිවස අසළින් දිවෙන අධිවේගී මාර්ගයට පැන තිබේ. එම අවස්ථාවේ එහි ගමන් කළ ලොරියකට ඔහු යටවී ඇති අතර සියදිවිනසාගැනීමක් ලෙස මරණය සිදුව ඇත.

එම කලබල අවස්ථාවේ මෙම සොයුරන් දෙන්නාගේ වයෝවෘද්ධ මව අධික ලෙස බියට පත්ව නිවසේ තිබූ ඇඳක් යටට රිංගා සැඟවී සිට ඇති අතර සිදුවීමෙන් අනතුරුව බාහිර පිරිස් පැමිණ සිදු කළ සෝදිසියේදී ඒ කියන මව ඇඳ යට මරණයට පත්ව ඇති බව හෙළිව ඇත. මවගේ මරණය හදිසි හෘදයාබාධයක් නිසා සිදුව ඇති බව පසුව හෙළිව ඇත.

මතුගම පොලිස් වසමේ නවුත්තුඩුව, අලුත්ගමගොඩ ප්‍රදේශයෙන් පසුගිය 27 වැනිදා රාත්‍රී 11.00 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇත.  දක්ෂිණ අධිවේගී මාර්ගයේ 39/4 කිලෝමීටර් කණුව ආසන්නයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාම පිළිබඳව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ නිලධාරින් විසින් සිදුකළ පරික්ෂණ කිරීමේදී  මේ යටින් දිවෙන පවුල් ආරවුල වාර්තාවී තිබේ.

රිය අනතුරට ලක්වූ පුද්ගලයා උපුල් කුමාර නමැති 35 හැවිරිදි අයෙකි. මෙම මියගිය පුද්ගලයා විසින් නිවස  තුළදීම පිහියකින් ඇනීම නිසා 

බරපතළ තුවාල ලබා සිටි ඔහුගේ  වැඩිමහල් සොහොයුරා අසල්වැසියන් විසින් නාගොඩ රෝහලට ඇතුළත් කර  ඇති අතර ඔහු ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ රඳවා ඇත. ඔහු ගයාන් පුෂ්පක නමැති 37 හැවිරිදි අයෙකි.

අධිවේගී මාර්ගයේ අනතුරින් මියගිය පුද්ගලයා සතුව තිබූ හැඳුනුම්පත අනුව පොලිස් නිලධාරින් ඔහුගේ නිවසට පැමිණ පරික්ෂා කිරීමේදී එම දෙදෙනාගේ මව නිවසේ ඇඳක් යට මියගොස් සිටියදී සොයාගෙන තිබුණි.  58 හැවිරිදි කාන්තාවක මෙසේ මියගොස් ඇත.  ගැටුම සිදුවන අවස්ථාවේදී බියට පත්වී ඇඳක් යට රිංගා ඇති ඔවුන්ගේ මවද බයටම මියගොස් ඇති බව මතුගම පොලිසිය කියයි. මියගොස් තිබූ ඇයගේ සිරුරේ තුවාල කිසිවක් දක්නට නැති බව පොලිසිය කියයි.

අධිවේගී මාර්ගයේදී මියගිය පුද්ගලයා දිවිනසාගැනීමේ උවමනාවෙන් එසේ ගමන් කළාද නැතිනම් සොයුරාට පහරදීමෙන් පසු ඇතිවූ බියට පළායද්දී අනපේක්ෂිත අනතරකට ලක්වූයෙද යන්න තවම පැහැදිලි නැත.

මෙම සිදුවීම සම්බන්දයෙන් පොලිස් පරීක්ෂණ සිදුවේ.